අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ දුප්පත් ජනතාව සම්පූර්ණයෙන් අමතක කළ අයවැයක් – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින්ම වත්මන් රජය විසින් නොසලකා හැර ඇති බවත් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයට අනුව අප රටේ දුප්පත්කම 25%ක් බවත් තවත් විශ්ලේෂකයන්ට අනුව දුප්පත්කම 40-50%ක් බවත් මේ අනුව වත්මන් රජයට අප රටේ දුප්පත්කම ගැන හරිහමන් සංඛ්‍යාලේඛන පවා නොමැති බවත් දුප්පත් ජනතාව වැටී ඇති මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න වත්මන් රජයට වුවමනාවක් හෝ වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවක් ඇති මොහොතක වත්මන් රජය අප රටේ දැවැන්ත පීඩනයට ලක් වූ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව අයවැයේදී අමතක කර ඇති බවත් මේ වන විට නාගරික, ග්‍රාමීය හා වතු ප්‍රදේශවල දුප්පත්කම ශීඝ්‍රයෙන් වැඩි වී උග්‍ර බරපතල සමාජීය ගැටලුවක් වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ මේ රජය බලයට ආවේ නිර්ධන පන්තිය නියෝජනය කරමින් වැඩ කරන ජනතාව නියෝජනය කරමින් නිර්ධන පන්ති අයිතිවාසිකම් වෙනුවෙන් යැයි පවසා වුවත් මේ වන විට වත්මන් රජය නිර්ධන පන්තිය අමතක කර ලුම්පන් ධනවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ලුම්පන් ධනවාදීන්ගේ සුවච කීකරු ගෝලයන් බවට පත්ව ඇති බවත් ය.

රජයේ ඇමතිවරු අද දුප්පත් ජනතාව දුප්පත්කමින් මිදෙන්නට ආධාර උපකාර ගැන යෝජනා ඉදිරිපත් කරන විට ඔවුන් හිඟන්නන් ලෙස නිග්‍රහ කර අපහාස උපහාස කරන බවත් දුප්පත් ජනතාව ආධාර වෙනුවෙන් හිගමගේ යන අය බවට රජයේ ඇමතිවරු කරන විග්‍රහය රජයේ ප්‍රතිපත්තියද කියා අහන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් දුප්පත් ජනතාව අමතක කළ අයවැයක් ඉදිරිපත් කළ බවත් දුප්පත්කමින් පෙළෙන ජනතාවට දුප්පත්කමින් මිදෙන්න වැඩසටහනක් නොමැති අයවැයක් බවත් ඔහුට මුල මෙන්ම තමන්ගේම ප්‍රතිපත්ති අමතක වී ඇති බවත් ජනතාව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කළේ දුප්පත් ජනතාවට සේවාවක් ඉටු කිරීමට වුවත් අද ජනාධිපතිවරයා ඒ සියල්ල අමතක කර ඇති බවත් ඔහු අයි. එම්. එෆ් එකේ සේවකයකු බවට පත්ව ඇති බවත් අයි. එම්. එෆ්. එක දුප්පත් ජනතාව මත පටවන පීඩනය අසහනය ක්‍රියාත්මක කිරීමේ ඒජන්තවරයකු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

රටේ ජනතාව අවස්ථා 3ක දී දුන් වරම විසි නොකර දැවැන්ත සමාජ ප්‍රශ්නයක් වන දුප්පත්කමට විසඳුම් ලබා දෙන ලෙසත් රජය සතු ආදායම් සම්පත දුප්පත්කම තුරන් කරන්නට යොදවන ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.