සටහන – රුවන් නෙළුගොල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන බවත් ඔහු දේවත්වය පත්වුණේ එම ජනතාවට රුපියල් 10,000කින් වැටුප් වැඩිකිරීම නිසා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පවසයි.
“අපේ හදවත කකියන අපිට දෑහැට කදුළු ආව කතන්දරයක් තියෙනවා, ගරු ජනාධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙනවා – රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඉන්නවා අපෙ මලයගම් ජනතාව වතු සේවක ජනතාව. ඔවුන්ට ඉතිහාසයේ පළමු වතාවට සටන් නෑ, පෙළපාලි නෑ, උද්ඝෝෂණ කළේ නෑ, කූඬැල්ලො කකා අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා, ආන් ඒ අයට ඉතිහාසයේ පළවෙනි වතාවට රුපියල් 10,000කින් වැටුප් වැඩිකරනවා. රුපියල් 400ක් දෛනිකව, 25ක් ආවොත් 10,000ක්. ඓතිහාසිකයි. ඒ නිසා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා. අපි ඒවා අනුමත කරන්නෙ නෑ. නමුත් දේවත්වයට පත්වෙන්නෙ ඇයි ? ඔහු ඒ අය වෙනුවෙන් බලපු නිසා. ඒක තමයි ඇත්ත කතන්දරේ”
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


