උපාලි කොළඹගේ
ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද බලා සිටිනුයේ එළඹෙන දිනය තෙක්ය. ආණ්ඩුවට නම් මේ මගින් කෙරෙන බලපෑම ඉතා සුළු බව අමුතුවෙන් කිවයුතු නැත. විපක්ෂය ද එකාවන්ව නැගී සිටීමක් දක්නට නැත. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබ මේ රැස්වීම ට සහභාගි වන්නේ නැත. ඒ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ මත කිහිපයක් තිබුණත් වැඩි බර නොයන පැත්තට ය. දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ ද එම මතයේය. විමල් වීරවංසලාද මුලින්ම කර හැරියේය. ඊට හේතුව පැහැදිලි නැතත් නාමල්ලා ගැන කලින් කීදේ මතක් වන විට පොඩියට ලැජ්ජා හිතෙනවා විය හැක. අපේ රනිල් වික්‍රමසිංහ මහතාට නම් කිසිම ලජ්ජාවක් නැත.
සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ කණ්ඩායම මුල සිටම මෙම රැළියට සහභාගි නොවන බව ප්‍රකාශ කර සිටියේය. මොන මොන හේතු ගෙන හැර දැක්වුවද නාමල්ලාගේ දේශපාලන ශක්තිය හා ජනප්‍රියත්වය හරි හැටි කිරා මැන බැලීමට මෙය කදිම අවස්ථාවක් බව ඔවුන් සිතනවා විය හැක. එමෙන්ම නාමල් රාජපක්ෂ කලඑළි බසින මංගල්‍යයකට හොට දැමීමෙන් නාමල් පිම්ඹීමට ඔවුනට කිසිදු වුවමනාවක් නැත. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණ විට මෙයට සහභාගි වන අනිකුත් ” ත්‍රීවිල් ” පක්ෂ නායකයන් සියලු දෙනාම පාහේ අතීතකාල රාජපක්ෂ වහලුන්ය. කවදා හෝ බලයට පත්වුවහොත් නාමල්ට මස්කටු ටිකක් වීසිකර ඉජු ඉජු ගෑමෙන් ඔවුන් තමන් වෙත පහසුවෙන් ආසක්ත කර ගත හැක.
මෙම රැළිය පැවැත්වීමට නුගේගොඩ තෝරා ගැනීමම ඔවුනට ඔවුන් පිළිබඳව ඇත්තේ කුමන අදහසක් ද යන්න කියාපායි. නුගේගොඩට එන්න කියනවා මිස කොතැනටද ආ යුත්තේ කියා කියන්නේ නැත. ස්ථානය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨය විය යුතු යයි අප සිතා ගත යුතුය. එය සොච්චම් ඉඩ කඩක් සහිත පිට්ටනියක් බව අමුතුවෙන් කිවයුතු නැත. බොහෝ දේශපාලන පක්ෂ පරාජයට පත්ව තමන්ට තමන් ගැනම අවතක්සේරුවක් තිබෙන අවස්ථාවල තොරා ගනු ලබන්නේ මෙම පිට්ටනියයි. මගේ මතකයේ හැටියට අතුරු මාර්ග පහකින් මෙතැනට ප්‍රවේශ විය හැක. ඒ මාර්ග ඔස්සේ හැන්දෑ ජාමය වනවිට නුගේගොඩ හන්දියට අති විශාල පිරිසක් පැමිණෙති. විවිධ අවශ්‍යතාවයන් සඳහා එක්රැස් වන හා නැවතී සිටින අයද බෙහෝය. මේ අය වුවද මේ කුඩා ඉඩ කඩ පිරවීමට ප්‍රමාණවත් ය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි රැස්වීම් පැවැත්වීමට අයිතියක් ඇත. ඒ ගැන කිසිදු වාදුවක් නැත. මෙය විවේචනයක් පමණි. කෙසේ වෙතත් විපක්ෂයේ නුගේගොඩ රැළියේ තේමාව නම් ඇඟට නොදැනී වෙනස් කර ගෙන තිබේ. මුලින් මෙහි තේමාව වූයේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව එක් රැස්වනු යන්නයි. පසුව එය ආණ්ඩුව ට ඡන්ද පොරොන්දු ඉටුකර දෙන ලෙස ඉල්ලා කෙරෙන යාතිකාව ක් දක්වා ලඝු වී තිබේ. කෙසේ වුවත් කුඩු ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමට කාටවත් සෘජුව විරුද්ධ විය නොහැක. විරුද්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගන්නවා යන්නද හිස් ප්‍රලාපයක් පමණි. අත්අඩංගුවට ගන්නා අයට බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති බව අපට වුවද පහසුවෙන් තේරුම් ගතහැකිය. එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනාවලට අත්අඩංගුවට ගන්නා අයද බොහෝ විට ප්‍රාදේශීය දේශපාලනඥයන්ය. එමෙන්ම ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව කටයුුතු කරන බවටවූ චෝදනාව ද නිශ්චිත නැත. ඉඳ හිට හුදකලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වාර්තා වුවද ඒ ගැන ද රුණු ලෙස ආණ්ඩුවට චෝදනා කළ හැකි තත්ත්වයක් තවම නැත.
එමෙන්ම අතීතය මතක ඇතියෙකුට මෙම රැළියේ මහ පුටු හොබවන උන්දැලාට එල්ල වූ චෝදනා අමතක නැත. ඒවා ලියන්න ගිය හොත් මෙය කොලමක් නොව පොතක් වනු නොඅනුමානය. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුකමින් ඉවත් කළ ජුගුප්සා ජනක ක්‍රියාවලිය පමණක් වුවද මොවුන්ගේ අනීතික අතීතයට නිදසුනකි.
