ඇඩොල්ෆ් විසිනි
දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව අතර පෙර නොවූ විරූ ආකාරයේ කේන්තියක් ජනිත වීම සාධාරණ ය. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාකළේ නායකත්වය, සම්බන්ධීකරණය, සහ හදිසි ප්‍රතිචාරයයි. ඒ වෙනුවට, ඔවුනට මුහුණ දීමට සිදුවූයේ ප්‍රමාදය සහ ව්‍යාකූලත්වයට හේතු වූ, ජීවිත, ජීවනෝපායන් සහ මහජන විශ්වාසය බිඳ දැමූ ආණ්ඩුවේ විනාශකාරී සූදානම් නොමැතිකමයි. ආරම්භයේ පටන්ම, අර්බුදයේ බරපතලකම අවබෝධකර ගැනීමට රජය අසමත් වූ අතර, ඒ සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නා විට පාලනයකළ නොහැකි මට්ටමට සියලු විනාශයන් සිදු වී හමාර ය.
පූර්ණ බලකායක අණදීමේ අත්දැකීම් සහ ජාතික ආපදා ප්‍රතිචාරයක් මෙහෙයවීමට අවශ්‍ය ආයතනික ගෞරවය යන දෙකම නොමැති ආරක්ෂක ලේකම්වරයකු පත්කිරීම මෙම විවේචනයේ හරයයි. දැවැන්ත ව්‍යසනයක් හමුවේ අර්බුද කලමනාකරණයේ විශේෂඥතාව, යුධ පිටියේ විනය සහ සන්නද්ධ හමුදාවන්ගේ විශ්වාසය අවශ්‍ය ය.
ඒ වෙනුවට, අපට ඉතිරි වූයේ, බහු නියෝජිතායතන ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීමට හෝ ක්ෂේත්‍ර නිලධාරීන් අතර විශ්වාසය ඇති කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් සන්නද්ධ නොවූ නිලධාරියකු පමණි. සුළි කුණාටුවේ බලපෑම පොළවට පතිත වී පැය කිහිපයක් යන්නට මත්තෙන් මෙම දුබලතාවය වඩාත් පැහැදිලි විය.
බොහෝ සෙයින් ජනප්‍රියත්වය අහිමිකරගත් අමාත්‍යවරුන් දෙදෙනෙකු වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ පෙරමුණට යැවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ප්‍රතිචාරය තවදුරටත් අඩපණ කළේය. මහජනතාවට, ඔවුන්ගේ පැමිණීම සැබෑ නායකත්වයකට වඩා දේශපාලන රංගනයක් පමණක් විය. පැහැදිලිබව, මඟපෙන්වීම හෝ බියසැක දුරුකිරීම අතින් ඔවුන්ගේ නොහැකියාව ජාතියේ කලකිරීම තවදුරටත් ව්‍යාකූල කළේය. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, ජාතික හදිසි තත්ත්වයක් මධ්‍යයේ එය හුදෙක් සංදර්ශනයක් පමණක් විය. අග්‍රාමාත්‍ය හරිනි මාධ්‍ය හමුවක් මධ්‍යයේ සිනහවෙමින් ඊට සමාන අගෞරවණීය හැසිරිමක් පෙන්නුම් කළා ය.
දිට්වා සුළිකුණාටුව මේ වන විට අවම වශයෙන් ජීවිත 153ක් වත් බිලිගෙන ඇති අතර, පුද්ගලයන් 191 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇත. විනාශයේ බරපතලකම එන්න එන්නම ඉහළ යමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ / ජාතික ජන බලවේග රජය සුළිකුණාටුවට වඩා බෙහෙවින් දරුණු දේශපාලන කුණාටුවකට හසු වී ඇත. ජාතික ජන බලවේගයේ බලවත් ම අවිය වූ ජනතා අනුකම්පාව වියැකී යමින් පවතී. නිපුණතාවය සහ අඛණ්ඩතාව පොරොන්දු වෙමින් බලයට පත් වූ රජයකට එවැනි අසාර්ථකත්වයන් දරාගත නොහැකිය. විශේෂයෙන් සිය පළමු සැබෑ ජාතික පරීක්ෂාව වූ මෙම ආපදාව හමුවේ එවන් අසාර්ථකත්වයක් දරාගත නොහැකි ය.
රජය විසින් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම ඉතාමත්ම බරපතල අඩුපාඩුවක් සේ සැලකිය හැකි ය. ඒකාබද්ධ සූදානම් යාන්ත්‍රණයක් ස්ථාපිත කරන මෙන් ඉල්ලා කාලගුණ විද්‍යා බලධාරීන් නොවැම්බර් 12 වන දින සිට ම රජයට දැනුම් දීම් සිදුකළ බව වාර්තා වේ. සුළි කුණාටුව තීව්‍ර වීමට සති කිහිපයකට මත්තෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රූපවාහිනියෙන් පවා මෙම අනතුරු ඇඟවීම් නැවත අවධාරණය කළේය. කෙසේවෙතත්, රජය උපකල්පනය කළේ කුණාටුව අවම බලපෑමකින් යුතුව පහව යනු ඇති බවයි. මෙම උදාසීනත්වය, 2019 වසරේ දී ඉදිරියේදී එල්ලවීමට නියමිත පාස්කු ඉරුදින ප්‍රහාරයක් පිළිබඳ දැන සිට බලධාරීන් එහි බරපතලකම අවතක්සේරුකළ අවස්ථාවට බෙහෙවින් සමාන වේ. ශ්‍රී ලාංකිකයෝ මෙම සමානකම වේදනාකාරී ලෙස දැන් අත්විඳිමින් සිටිති.
රජයේ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිකම අසාර්ථකත්වයට තවත් උදාහරණයකි. අත්‍යාවශ්‍ය සේවා පැහැදිලිව හඳුනා නොගෙන 28 වන සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පරිපාලනය අඩපණ විය. ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් මහජනතාවට වඩාත්ම අවශ්‍ය වූ මොහොතේ සොයාගැනීමට නොහැකි විය. දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල, ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු අනාගත දූෂණ චෝදනාවලට බියෙන් හදිසි ප්‍රසම්පාදනයන් පවා ප්‍රතික්ෂේප කළහ. මිනිසුන් ඉවත් කිරීම් ප්‍රමාද වූ අතර, ජලය, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සැපයුම් නියමිත වේලාවට ලබා දීම ද සිදු නොවිණි.
රාජ්‍ය යාන්ත්‍රණය ඇණහිටීමත් සමඟ සාමාන්‍ය පුරවැසියන් මැදිහත් වීම සිදුවිය. ස්වේච්ඡා කණ්ඩායම් පිහිටුවාගත් ප්‍රජාවන් ආහාර පිළියෙළ කර දී, ප්‍රවාහන පහසුකම් ලබා දී, පවුල් බේරාගෙන, වෛද්‍ය ආධාර ලබා දීමට පවා කටයුතු කර තිබිණි. අර්බුදය මැඬලීමට රජය අරගල කරද්දී ශ්‍රී ලාංකිකයෝ එකමුතුකම සහ මනුසත්කම පෙන්නුම් කළහ.
තත්ත්වය තවත් ව්‍යාකූල කරමින්, අනතුරු ඇඟවීම් ත්‍රෛභාෂිකව ප්‍රචාරය කිරීමට බලධාරීහු අපොහොසත් වූහ. දමිළ බස කතා කරන ප්‍රජාවන්ට අත්‍යාවශ්‍ය යාවත්කාලීනයන් බොහෝසෙයින් ප්‍රමාද වී ලැබිණි. එය රටේ ත්‍රෛභාෂා සන්නිවේදන ප්‍රතිපත්තිය අනවශ්‍ය සහ පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමකි.
ජනාධිපති අනුර කුමාර දිසානයක අත්‍යාවශ්‍ය සේවා නම්කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කළේ 29වන දින මධ්‍යහනයේ ය. එවිට අර්බුදය හිනිපෙත්තට ගොස් අවසාන ය.
දිට්වා සුළිකුණාටුවෙන් හෙළිදරව් වූයේ හුදෙක් රජයේ සූදානම් මඳකමකට වඩා එහා ගිය දෙයකි. ඉන් ගැඹුරු නායකත්ව රික්තයක් හෙළි කළේය. රජය ක්ෂණිකව, විනිවිදභාවයෙන් යුතු ව හා තීරණාත්මක ව ක්‍රියා නොකරන්නේ නම්, තමා බලයට ගෙන ආ විශ්වාසය අහිමි වීමේ අවදානමක් පවතී. ජනපති අනුරගේ මාධ්‍ය සංදර්ශන, විපක්ෂයට පහර දීම සහ මිනිසුන් දේශපාලන දෘෂ්ඨිවාදීන් ලෙස හංවඩු ගැසීම හමුවේ නැතිවී යන්නේ ජනතාවගේ ඉවසීමේ ගුණයයි.
රජයේ ධුරයන් හොබවන පෞද්ගලික අංශයේ චරිතවන හාන්ස් විජේසූරිය, සරත් ගනේගොඩ, අර්ජුන හේරත්, ප්‍රවීර් සමරසිංහ, දුමින්ද හුලංගමුව සහ යෝසෙෆ් හනිෆ් දැන් පෙරමුණ ගෙන නායකත්වය දිය යුතු ය. පරිපාලනයේ නිපුණතාවය සහ විනය තහවුරු කිරීමට ඔවුන ද අපොහොසත් වූවහොත්, ඉදිරි දිනවලදී ඔවුනට ද මහජන කෝපයට මුහුණ දීමට සිදුවනු නොඅනුමාන ය.

