අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

අද (18) දිනයේ පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදිය.

ඒ, 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සඳහායි.

එය අද(18) දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

මිට අමතරව හෙට(19) දිනයේදීද පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ ඉදිරිපත් කෙරෙන රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව එහිදී විවාද කොට අනුමත කරගැනීමට නියමිත බවයි.