ඉසුරු පරාක්‍රම
දෙසැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංගීත ලොව තවත් එක් පුරාවෘත්තයක නික්ම යෑම හමුවේ කඳුලු සලමින් සිටියි. බ්‍රිතාන්‍ය ජාතික ගායකයකු හා ගීත රචකයකුවන ක්‍රිස්ටෝෆර් ඇන්ටන් රෙයා හෙවත් ක්‍රිස් රෙයා ඉකුත් දෙසැම්බර් 22 වන දින මෙලොවින් සමුගන්නා විට 74 වන වියේ පසුවිය.
අසනීප තත්ත්වයක් මත රොහල්ගත කර සිටි ක්‍රිස් ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවයට පත් වූ බව ඔහුගේ පවුලේ ආරංචිමාර්ග මාධ්‍ය වෙත තහවුරුකර තිබිණි.
ක්‍රිස් ගේ අභාවය දෛවෝපගත සිදුවීමක් වනුයේ, මෙම වසරේ නත්තල එළඹීමට දින කිහිපයකට මත්තෙන් එය සිදුවීම නිසා ය. විදෙස් සංගීතයට ලැදි ලොව නන්දෙස ජීවත්වන කිතුණු භක්තික හා කිතුණු භක්තික නොවන කා අතරත් ජනප්‍රිය “Driving Home for Christmas” ගීතයේ ගායකයා ඔහු ය.

ක්‍රිස් ගේ සංගීත දිවිය දශක පහකට වැඩි කාලයක් පුරා විහිදී ගිය එකක්වන අතර, රොක්, බ්ලූස්, පොප් සහ සෝල් ෂානරවල ගීත රැසක් ඔහු විසින් ගායනාකර තිබිණි. 1951 වර්ෂයේ දී මිඩ්ල්ස්බරෝ හි ඉතාලි පියෙකුට සහ අයර්ලන්ත මවකට දාව උපත ලැබූ ක්‍රිස් විසි ගණන්වල මුල් භාගයේදී ගිටාර් වාදනය කිරීමට පටන් ගත් අතර ලොව පුරා මිලියන ගණනක් තැටි අලෙවි කරමින් ස්ටුඩියෝ ඇල්බම 25 ක් පටිගත කිරීමට සමත් විය.
“Fool (If You Think It’s Over)” සහ “The Road to Hell” වැනි ගීත සඳහා දැවැන්ත ජනප්‍රියත්වයක් ඔහු විසින් උසුලා තිබුණ ද, නත්තල් සමයේ සංස්කෘතික ව්‍යූහයේ කොටසක් බවට පත් වූ “Driving Home for Christmas” නම් ගීතය, නත්තල් සිසිලසට නව අරුතක් එක්කළා කිවහොත් වඩා නිවැරදි ය. මෙම ගීතය මුල්මවරට නිකුත් කරන ලද්දේ 1980 දශකයේ මැද භාගයේවන නමුත් ඊට ක්ෂණික ජනප්‍රියත්වයක් හිමි නොවිණි. මෙම ගීතය ලොව නන්දෙස සංගීත රසිකයන් අතර ජනප්‍රියත්වයට පාත්‍ර වූයේ ක්‍රමක්‍රමයෙන් වන අතර, සෑම දෙසැම්බර් මාසයකම ගීත දර්ශකවලට නැවත නැවත ඇතුළු වූ ආදරණීය ගීතයක් බවට පත්වීමට එය සමත්විය. උත්සව සමයේ තම ආදරණීයයන් සමඟ නැවත එක්වීම මෙම ගීතයෙන් අර්ථවත් කිරීම ඊට හේතුවයි.
ක්‍රිස් ගේ ජීවිතය කලාත්මක ජයග්‍රහණ සහ පෞද්ගලික අභියෝග යන දෙකෙන්ම සමන්විත වූ එකකි. ඔහු බරපතල සෞඛ්‍ය ගැටළු සමඟ සටන්කළ අතර, ඒවා අතර ප්‍රධාන ශල්‍යකර්මයකට මෙන්ම ආඝාතයකට පවා තුඩු දුන් අග්න්‍යාශ පිළිකාවක් ද විය. නමුත් ඔහුගේ සංගීත ගමන ඉන් නතර නොවිණි. තම බිරිඳ ජොවෑන් සමඟ පැවති දිගුකාලීන හවුල්කාරිත්වය සහ තම මූලයන් වෙත පැවති දැඩි බැඳියාව හේතුවෙන් අවසාන මොහොත දක්වාම ක්‍රිස් සංගීත ක්ෂේත්රයට කැපවීමෙන් සේවය කළේය.
ක්‍රිස් සිහිපත් කිරීමේ දී බොහෝ දෙනෙකුට ඊට දශකයකට පමණ පෙර මේ අන්දමින් ම නත්තල් සමයේ දී අභාවප්‍රාප්ත වූ තවත් බ්‍රිතාන්‍ය කලාකරුවකු සිහිපත් වෙයි. ඔහු නමින් ජෝර්ජ් මයිකල් ය.
ඔව්.. ව්හෑම්! සංගීත කණ්ඩායමේ සම-රචක ජෝර්ජ් මයිකල් මෙලොවින් සමුගත්තේ 2016 දෙසැම්බර් 25 වන දින ය. ක්‍රිස් මෙන්ම ජෝර්ජ් ද නත්තල් සිසිලස අර්ථවත්කළ, උත්සව සමයේ දී අදටත් ගීත දර්ශකවල රැව්පිලි රැව් දෙන ගීතයක් ලොවට දායාදකළ බව රසිකයන්ට අමතක නැත. ඒ “Last Christmas” නම් ගීතයයි. ජෝර්ජ් අභාවප්‍රාප්තවන විට 53 වෙනි වියේ පසු වූ අතර, ඔක්ස්ෆෝර්ඩ්ෂයර් හි තම නිවසේ දී හටගත් හෘද හා අක්මා රෝගවලට සම්බන්ධ ස්වභාවික තත්ත්වයක් මත ඔහු දැයින් සමුගත්තේ ය.
ජනප්‍රිය සංගීතය කෙරෙහි ජෝර්ජ්ගේ බලපෑම අතිමහත් ය. 80 දශකයේ ඇන්ඩෘෘ රිජ්ලි සමඟ ව්හෑම්! සංගීත කණ්ඩායම පිහිටුවමින් කීර්තියට පත් වූ ජෝර්ජ්, ලොව පුරා මිලියන ගණනින් අලෙවි වූ Faith වැනි ඇල්බම සමඟ අතිශයින් සාර්ථක ඒක පුද්ගල වෘත්තියක් ගොඩනඟා ගැනීමට සමත්විය. ඔහුගේ පොහොසත්, සංවේදී ගායනය සහ ගීත රචනා පරාසය, ජෝර්ජ් තම පරම්පරාවේ වඩාත්ම ආදරණීය පොප් කලාකරුවකු බවට පත් කළේය. ප්‍රේමය අහිමි වීම පිළිබඳ දුක්මුසු එහෙත් උද්යෝගකර ගීතයක් වූ “Last Christmas” සෑම දෙසැම්බර් මාසයකම වඩාත්ම සංසරණයවන සහ නැවත ගීත දර්ශකවලට එක්වන ගීත අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව නොරහසකි. එය ජෝර්ජ් ගේ ප්‍රතිභාව සහ චිත්තවේගීය අනුනාදය පිළිබඳ සදාකාලික මතක් කිරීමකි.

ක්‍රිස් සහ ජෝර්ජ් යන දෙදෙනාම ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් මිනිසුන්ගේ නිවාඩු දිනයන් ශබ්ද නඟන කාලානුරූපී සංගීත බවට පරිවර්තනයකළ බව කිවහොත් වඩා නිවැරදි ය. “Driving Home for Christmas” දිගු ගමනකින් අනතුරුව හුරුපුරුදු ආදරණීයයන් නැවත හමුවීමේ උණුසුම සහ ඉන් තමාට ලැබෙන සහනය සිහිපත්කරන අතර, “Last Christmas” උත්සව සමයේ අහිමිවන පෙම සහ හැඟීම්වල කටුකබව ග්‍රහණය කරයි.
සෑම ගීතයක් ම උත්සව සමයේ චාරිත්‍ර වාරිත්‍ර වටා ගෙතී ඇති අතර, සැනසීම, ප්‍රීතිය සහ ආවර්ජනය සමානව ලබා දෙයි.
නත්තල් සිසිලස අර්ථවත්කළ මෙම සංගීත පුරාවෘත්තයන් දෙකෙහි නික්ම යෑම නත්තලට ම සමීප වීම කාව්‍යමය දොම්නසක් රසිකයන්ට එක්කරන බව පැවසිය යුතු ය. 2016 වර්ෂයේ නත්තල් දිනයේ දී ම ජෝර්ජ් අභාවයට පත්වීම, “Last Christmas” ගීතයට ශෝකයක් එක්කරන අතර, ලොව පුරා සිටින අසංඛ්‍යාත රසිකයන් සඳහා එහි පවතින චිත්තවේගීය බලපෑම ඉන් තියුණු විය. ක්‍රිස් ගේ නික්ම යෑම ඔහු විසින් ගැයූ “Driving Home for Christmas” ගීතයට එක් කරන්නේ මින්මතු කිසිදා නත්තලට තම ආදරණීයයන් දැකගැනීමට නොහැකිවනු ඇතැයි මෙන් දුක්මුසු සංවේදී හැඟීමකි.
පරම්පරා ගණනාවක රසිකයන් මෙම නත්තල් සමයේ “Driving Home for Christmas”සහ “Last Christmas” නැවත වාදනය කරන විට, ක්‍රිස් රෙයා සහ ජෝර්ජ් මයිකල්ගේ උරුමයන් මිලියන ගණනක් වූ උත්සව, චාරිකා, සුහද හමුවීම්, පවුලේ හමුවීම් සහ නිහඬ මතකයේ අවස්ථාවන්වල ජීවමානවනු ඇත. ඔවුන්ගේ සංගීතය අපට මතක් කර දෙන්නේ, ගීතයේ බලයට කුඩා අවස්ථාවන් වටිනා සම්ප්‍රදායන් බවට පත් කළ හැකි බව නොවේ ද?
*ඡායාරූප: අන්තර්ජාලය



