ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ කුමන්ත්‍රණයකින් අනතුරුව බලය අත්පත්කර ගැනීමෙන් වසර පහකට පසුව අද (28) එරට මහ මැතිවරණයක් පැවැත්වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන පසුබිමක මෙලෙස පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන්ද එරට සමාජයට එතරම් විශ්වාසයක් නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අද ඇරඹුණු මහ මැතිවරණය ජනවාරි 25 වැනිදා දක්වා අදියර තුනකින් පවත්වනු ලබයි. එහෙත් බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානියා මෙම ඡන්ද ක්‍රියාවලිය දැඩි ලෙස හෙළාදැක තිබේ. හමුදා පාලනයට එරෙහි නැගෙමින් තිබෙන විරෝධය සමනය කර එම පාලනය තහවුරු කරගැනීමේ අරමුණින් මෙම මැතිවරණය පැවැත්වෙන බවයි බොහෝ දෙනෙකුගේ අදහස් වී ඇත්තේ.
2020 මැතිවරණයේ දී හිටපු ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුඛීගේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජාතික ලීගය වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය හිමිකරගනු ලැබුවද වංචා දූෂණ චෝදනා එල්ලකරමින් කුමන්ත්‍රණයකින් සුඛීගේ පාලන බලය සියතට ගැනීමට හමුදා පාලනය සමත්විය.
මේ වන විට මියන්මාරයේ බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ විසුරුවා දේශපාලන නායකයින් රැසක් සිරගත කර ඇති පසුබිමක මෙන්ම අඛණ්ඩ සිවිල් යුද්ධයක් පවතින තත්ත්වයක කැඳවා ඇති මෙම මැතිවරණයේ දී සමස්ත ඡන්දදායකයින්ගෙන් අඩක් පමණ ඡන්දය භාවිත නොකරනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මියන්මාර අගනුවර පැවති ජන්ද මධ්‍යස්ථානයකදී ජන්ද භාවිතා කළ හමුදා ජුන්ටා පාලනයේ ප්‍රධානියා මාධ්‍ය වෙත පවසා තිබුණේ මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වනු ඇති බවයි.
“මම සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා, සිවිල් සේවකයෙක්. මට ජනාධිපති වීමට අවශ්‍ය බව මට කිව නොහැකි ” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
එමෙන්ම මෙම සතිය තුළ ජන්දය ප්‍රකාශ නොකරන අය “ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ප්‍රගතිය” ප්‍රතික්ෂේප කරන අය බවටද ඔහු අනතුරු අඟවා තිබේ.
මේ වන විට මැතිවරණයක් පැවැත්වුවද නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ චීනයේ සහාය ඇතිව ජුන්ටාව විනාශකාරී ගමනෙන් මිදීමට මාර්ගයක් සොයමින් තම බලය නීත්‍යානුකූල කර ගැනීමට සහ තහවුරු කර ගැනීමට උත්සාහ කරන බවයි.
මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම කරන නව නීතියක් යටතේ මැතිවරණයට බාධා කිරීම හෝ විරුද්ධ වීම සම්බන්ධයෙන් 200 කට වැඩි පිරිසකට චෝදනා එල්ල කිරීම් ද සිදුකර ඇත.
පවතින සියලු මර්දන හමුවේ බොහෝ මියන්මාර වැසියන්ගේ බලාපොරොත්තුව වන්නේ සියලුම දෙනාට එක ලෙස සලකන ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමය.
කෙසේවෙතත් ජන්ද පත්‍රිකාවේ බහුතරයකගේ නම් සඳහන් වන්නේ හමුදා ප්‍රධානීන්ගේ බවද සඳහන්.


