අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

Date:

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා මහතාගේ 58 වැනි උපන් දිනය අදට (දෙසැම්බර් 28) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

1967 දෙසැම්බර් 28 වනදා උපත ලද ධම්මික පෙරේරා මහතා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයේ NDT පාඨමාලාවක් හදාරණ අතරතුරම වයස අවුරුදු 19 දී ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අයෙකි.

එතැනින් වසර 27ක් ගතවෙද්දී ඔහු ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා බවට පත්වීමට සමත් වූයේය. ෆෝබ්ස් ඒෂියා සඟරාව විසින් 2013 වසරේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා වශයෙන් ධම්මික පෙරේරා මහතාව නම් කරන ලදී.

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් අතරින් දැවැන්තම සමූහයක් වන වැලිබල් වන් සමූහයේ හිමිකාරීත්වය දරණ ධම්මික පෙරේරා මහතා බැංකු හා මූල්‍ය සමාගම්, සංචාරක හා විනෝදාස්වාද ක්ෂේත්‍රය, තේ, රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත, ගෘහ විදුලි උපකරණ, දැවමය ගෘහ භාණ්ඩ, යතුරුපැදි ත්‍රීරෝද රථ සහ මෝටර් රථ අලෙවිය, කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය, , විදුලිබල උත්පාදනය, ගෑස් අලෙවිය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය, ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ රෙදිපිළි නිෂ්පාදනය, සිමෙන්ති, ටයිල්, නානකාමර උපාංග, ඇලුමීනියම් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය, ගුවන් ගමන් ක්ෂේත්‍රය, නෞකා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය යනාදී ක්ෂේත්‍ර රැසක පැතිරුණු දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක් මේ වනවිට ගොඩනඟා ඇත.

හේලීස්, සිංගර්, ඩෙල්මේජ් වැනි මෙරට අතිශයින් ජනප්‍රිය දැවැන්ත සන්නාම සහිත සමාගම් පවතින්නේ ඔහුගේ ව්‍යාපාර කළඹ තුළ ය. සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, එල්බී ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස් වැනි ශක්තිමත් බැංකු සහ මූල්‍ය සමාගම් ඔහුගේ ව්‍යාපාර කළඹ තුළ ඇත. ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රටවල් ගණනාවක ද ඔහුගේ ව්‍යාපාර විහිදී පවතී. නයිකි, ඇඩිඩාස් වැනි ලෝකයේ දැවැන්ත සන්නාම සහිත ඇඟළුම් සඳහා හොඳම රෙදිපිළි නිෂ්පාදනය කෙරෙන්නේ ඔහුගේ කර්මාන්තශාලා තුළ ය. ගුවන්යානා එංජින් නිෂ්පාදනය වැනි අතිසංවේදී කර්මාන්ත සඳහා යොදාගන්නා ලොව හොඳම රබර් අත්වැසුම් නිෂ්පාදනය කෙරෙන්නේ ඔහුගේ කර්මාන්තශාලාවලිනි. පානීය ජලය පිරිසිදු කිරීමට යොදාගන්නා ලොව හොඳම ඇක්ටිව් කාබන් නිෂ්පාදන කෙරෙන්නේත් ධම්මික පෙරේරාගේ කර්මාන්තශාලා තුළ ය.

මේ දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍ය ගොඩනඟන අතරේම ඔහු කලක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වෙමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණු ඒ මහතා ඉතා කෙටි කාලසීමාවකට ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ද දැරුවේ ය. අමාත්‍ය ධුරය දැරූ මාසයක් වැනි කෙටි කාලය තුළදී මෙරට ආයෝජන ක්ෂේත්‍රයට බලපෑ ගැටලු රැසකට විසඳුම් ලබාදීමට ද ඔහු සමත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාරගැනීමේදී ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ඉවත්වූ ධම්මික පෙරේරා මහතා 2024 අගභාගයේදී මන්ත්‍රී ධුරයට සමුදීමෙන් අනතුරුව කෙටි කලකට පසු යළිත් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටී. ගතවූ වසරකට ආසන්න කාලය තුළ ලාෆ්ස් සමූහය ඇතුළු සමාගම් හතරක් සිය ව්‍යාපාර කළඹට එකතු කරගත් ඔහු මේ වනවිට ශාඛා 100කින් සමන්විත සුපිරි වෙළඳසැල් ජාලයක් පිහිටුවීමට අතගසා ඇත.

ධම්මික පෙරේරා යනු කුමන වැඩක් කළත් එය උපරිම ගුණාත්මකභාවයෙන් යුතුව, ඉහළම ප්‍රමිතියෙන් යුතුව, උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව කිරීමට කැපවෙන අයෙකි. ව්‍යාපාරික ක්ෂේත්‍රය දිග්විජය කිරීමට ඔහුට හැකිවූයේ එම ගුණාංග මෙන්ම කළමනාකරණයේදී දක්වන සුපිරි හැකියාවත්, තීක්ෂණ බුද්ධියත්, වසර ගණනාවක් ඉදිරියට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවණතා පිළිබඳ පෙරදැකීමට ඇති හැකියාවත්, අලුත් අලුත් දෑ ඉගෙනීමට ඇති නොසංසිඳෙන වුවමනාවත් නිසා ය.

උපාලි විජේවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට මග පෙන්වීමට ව්‍යාපාරික සුපිරි තරුවක් අපට සිටියේ නැත. ඒ අඩුව පසු කලෙකදී පිරවූයේ ධම්මික පෙරේරා විසිනි. නිදහසෙන් පසු ගතවූ වසර 77ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත්ම දිදුළන ව්‍යාපාරික සුපිරි තරුව ධම්මික පෙරේරා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එය යළි යළිත් දිනපතා තහවුරු වන යතාර්ථයයි.

කෙසේවෙතත් ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ ඉහත කී කිසිවක් නිසා නොවේ. ඔහු ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ මෙරට දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම උදෙසාත් ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම උදෙසාත් ඔහුගේම සංකල්පයක් යටතේ තම කාලය, ශ්‍රමය සහ රුපියල් කෝටි සිය ගණනක ධනය වැය කරමින් ඔහු විසින් නිර්මාණය කරන ලද ඩීපී එඩියුකේෂන් සමාජ සත්කාරය නිසා ය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන සංකල්පය විසි එක්වැනි සියවසට අදාළ පරිදි ප්‍රතිස්ථාපනය කෙරුණේ ඩීපී එඩියුකේෂන් තුළිනි.

පෙර පාසල් අධ්‍යාපනය, 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනයේ ප්‍රධානතම විෂයයන් සියල්ල ආවරණය කරමින් ඇරඹුණු ඩීපී එඩියුකේෂන් 2019 වසරේ සිට මේ දක්වා ගතවූ වසර 6ක් තුළ සිසු සිසුවියන් මිලියන ගණනකට සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලබාදී තිබේ. එසේම මෙරට බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ප්‍රාචීන සහ පණ්ඩිත විභාග දක්වාම පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙන ඩීපී එඩියුකේෂන් පිරිවෙන, මෙරට තරුණ තරුණියන්ගේ විදෙස් රැකියා සිහිනය සැබෑ කිරීම උදෙසා ඉංග්‍රීසි, ජපන්, ඉතාලි, කොරියානු සහ චීන භාෂා උගන්වන ඩීපී එඩියුකේෂන් භාෂා පාසල මෙන්ම මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව පිහිටුවන ලද ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ජාලය ධම්මික පෙරේරා විසින් මෙරට පාසල් දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට හෙවත් අනාගත පරපුරට තිළිණ කර ඇති දායාදයයි.

ධම්මික පෙරේරාගේ ස්වභාවය අනුවම යමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නවීන අධ්‍යාපන ක්‍රමවේදයන් සහිතව ස්ථාපනය කර ඇති ඩීපී එඩියුකේෂන් වැඩසටහන මෙරට ඩිජිටල් අධ්‍යාපනයට පමණක් නොව පාසල් අධ්‍යාපනයට සහ ටියුෂන් අධ්‍යාපනයට ද පෙරගමන්කරු වශයෙන් මගපෙන්වනු ඇත. ශ්‍රී ලංකාව මේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන යනු ඇත්තේ එවන් නවීකෘත අධ්‍යාපනයෙන් සන්නද්ධ වන අනාගත දරු පරපුරයි.

ශ්‍රී ලංකාව ගොඩගත හැක්කේ අධ්‍යාපනය දියුණු කිරීමෙන් පමණක්ම බව විශ්වාස කරමින් ඒ වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය, ධනය නිස්සරණාධ්‍යාශයෙන් යුතුව කැප කරමින් ඩීපී එඩියුකේෂන් ඔස්සේ සිදුකරන අනාගතවාදී සමාජ සේවය පිළිබඳ ධම්මික පෙරේරා මහතාට ස්තූතිවන්ත වන අතර සුළු වශයෙන් හෝ එවන් සමාජ සත්කාරයකට දායක වීමට අපටත් අවස්ථාවක් සැලසීම පිළිබඳවත් අපි ඒ මහතාට නැවතත් ස්තූතිවන්ත වන්නෙමු.

ධම්මික පෙරේරා යනු තවදුරටත් හුදෙක් පුද්ගලයෙකු හෝ නමක් හෝ නොවේ. ධම්මික පෙරේරා යනු තනතුරකි. ඔහුට අදාළ සියලුම ක්ෂේත්‍රවල අදත් හෙටත් ඉහළින්ම පවතින තනතුරකි. ඔහුටම හෝ අත්හැරිය නොහැකි තනතුරකි.

ධම්මික පෙරේරා මහතාණෙනි, ඔබට සුබ උපන් දිනයක් වේවා !!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...