ඇඩොල්ෆ් විසිනි
ශ්‍රී ලංකාවේ පද්ධතිමය අතින් වඩාත් වැදගත් මූල්‍ය ආයතනයක් සේ සැලකෙන හැටන් නැෂනල් බැංකුව (HNB) තුළ නිහඬව ක්‍රියාත්මක වෙමින් පවතින බල අරගලය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකි ය. මෙම බල අරගලය නිහඬව සිදුවන එකක්වන නමුත් එහි ප්‍රතිඵලය එම ආයතනයේ ඉහළ කලමනාකාරීත්වයට සෘජුව බලපාන එකක් බවයි කියවෙන්නේ.
මෙම ආන්දෝලනාත්මක තත්ත්වයේ කේන්ද්‍රස්ථානය වන්නේ සුරේෂ් ෂා නම් ව්‍යාපාරිකයෙකි. තම වෘත්තීය පසුබිම බොහෝ දුරට තනි ක්ෂේත්‍රයකට සීමා වී පැවතිය ද, සුරේෂ් ෂා යනු මෑත වසරවල දැවැන්ත මහජන ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් තැනැත්තකු බව අමුතුවෙන් කිව යුතු නැත.
සුරේෂ් යනු දුම්කොල සමාගමේ සභාපතිවරයායි
සුරේෂ් ගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කොටසක් වෙන්ව තිබෙන්නේ ආසවනාගාරයක ප්‍රධානී තනතුර දැරීම සඳහා ය, පවතින තොරතුරුවලට අනුව ඔහුගේ අත්දැකීම් ද එම අංශයට පමණක් සීමා වී ඇත. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ඉකුත් රජයේ අවසාන කාලසීමාව තුළ රාජ්‍ය මූල්‍ය, බැංකුකරණය, හෝ ජාතික මට්ටමේ ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් යම් තරමක අත්දැකීම් සමුදායක් ඇති සුරේෂ්ගේ හදිසි ප්‍රසිද්ධිය, හිටපු එක්සත් ජාතික පක්ෂ ඇමති දයා ගමගේගේ පවුල සමඟ සිය දියණිය විවාහ ගිවිස ගැනීමත් සමඟ ඇති වූවක් බවටයි විචාරකයන් තර්ක කරන්නේ. මෙම සම්බන්ධය, ඔහු ව බලවත් තනතුරුවෙත යොමු කරවන්නට හේතු වූවා විය හැකි ය.
මෙම කාලසීමාව තුළ සුරේෂ් මුදල් අමාත්‍යංශයේ ප්‍රතිව්‍යූහගත කිරීම් ඒකකයේ සභාපතිවරයා ලෙස පත්කරන ලද අතර, ඒ අනුව රජය සතු ව්‍යාපාරයන් බෙදා හැරීම, පෞද්ගලීකරණය සහ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටු කිරීමට සුරේෂ් මූලික විය.
කෙසේවෙතත්, පවතින තොරතුරුවලට අනුව, ඔහුගේ පාලන කාලය තුළ රු. මිලියන 200 කට අධික මුදලක් උපදේශකයන් සඳහා වියදම්කර ඇති අතර, එය ප්‍රකාශයට පත් කිරීම සඳහා සම්පූර්ණ කරන ලද පෞද්ගලීකරණ ක්‍රියාවලියක් ද මෙතෙක් හමු වී නොමැත. මේ වන විට මෙම කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අවසන් නිගමනවලට මෙතෙක් එළඹ නොමැති වූවත්, මෙම විමර්ශනය සුරේෂ් ගේ ප්‍රතිරූපය කෙරේ අඳුරු සෙවනැල්ලක් පතිතකර ඇති බව නම් කිව යුතු ය. මෙමඟින් ඔහුට එරෙහිව වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා අවශ්‍ය පසුබිම සකස් වී අවසාන ය.
ඒ සියල්ල එසේ තිබිය දී, HNB බැංකුවේ වත්මන් සභාපතිවරයා නෙරපා හැර දැමීමේ කුමන්ත්‍රණයක් දියත්කරමින් සිටින බවට සුරේෂට චෝදනා එල්ල වී ඇත. මෙය කිලිටි වී ගිය තම ප්‍රතිරූපය යළි ගොඩනඟා ගනිමින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ තම බලය යළි තහවුරුකර ගැනීම සඳහා ඔහු විසින් දරන ප්‍රයත්නයක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මෙම කුමන්ත්‍රණය සඳහා රටේ ප්‍රධාන බැංකු සහ රාජ්‍ය ආයතන සමඟ අතීත සබඳතා පවතින කුඩා නමුත් බලගතු තැනැත්තන් පිරිසක් සම්බන්ධවන බව කියවේ. වාර්තාවන අන්දමට, කොමර්ෂල් බැංකුවේ සහ සම්පත් බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකුවන ආර්. රෙන්ගනාදන් ද ඔවුන් අතර සිටියි. හිටිහැටියේ ම රෙන්ගනාදන් සිය බැංකු කවයන් වෙත යළි ප්‍රවේශවීම පුදුමය දනවන්නක් බවට පෙනී ගිය ද ඒ පිටුපස පවතින නොකී කතාව මෙය විය හැකි ය. තව ද, මෙම තැනැත්තන් අතර රූපවාහිනී සංස්ථාවේ ආයතනික අංශයේ විධායක නිලධාරියකු ලෙස සේවයකර පසුව එම තනතුරෙන් ඉවත්කරන ලද ප්‍රසාද් සමරසිංහ නැමැත්තා ද සිටින බවට ආරංචිමාර්ග සඳහන්කර සිටියි. ප්‍රසාද් අභාවප්‍රාප්ත ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ පවුල සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවට ද වාර්තාවන නමුත්, ප්‍රසාද් යනු හැරී විසින් ප්‍රතික්ෂේපකර අතහැර දැමූ චරිතයක් බවයි මේ පිළිබඳ තොරතුරු දන්නා පාර්ශවයන් පෙන්වා දෙන්නේ.
තත්ත්වය තවත් ව්‍යාකූලවන ලකුණු
තත්ත්වය ව්‍යාකූල කරමින් සම්පත් බැංකුවේ හිටපු නිලධාරියකු ද මෙම කුමන්ත්‍රණයට සම්බන්ධවන බවට වාර්තා වේ. විමර්ශන නිලධාරීන් විසින් අධ්‍යයනයකර ඇති ලේඛනවලට අනුව, ඔහු සතු කොළඹ වත්කම් ඔහුගේ ප්‍රකාශිත ආදායම්වලට නොගැළපෙන පරිදි විශාල ය. ඔහු පිළිබඳව තොරතුරු ද අල්ලස් කොමිසම වෙත යොමුකර ඇති අතර, මෙමඟින් දැනටමත් පවතින ආන්දෝලනාත්මක තත්ත්වයක් තවත් ව්‍යාකූලකර ඇති බවක් පෙනී යයි.
වෘත්තීය සංගම්වල ප්‍රතිචාරය
HNB බැංකුවේ වෘත්තීය සමිති මෙම තත්ත්වය කෙරේ දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත. ඔවුන් අවධානය යොමුකරන්නේ HNB බැංකුවේ පරිපාලනය සම්බන්ධයෙන් නොව, එහි නායකත්වය අස්ථාවර කිරීම සඳහා බාහිරින් මෙහෙයවන ලද හස්තයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙනි. HNB බැංකුවේ සභාපතිවරයා ඉවත්කර සුළු ජාතික පුද්ගලයකු එම තනතුරට පත්කිරීම සඳහා සුළු ජාතික පුද්ගලයන් දෙදෙනෙකු විසින් දරන ප්‍රයත්නයක් බවට පවසමින් අනවශ්‍ය වාර්ගික ගැටළුවක් ඉදිරියට දමාගනිමින් ඇතැම් වෘත්තීය සංගම් මීට විරෝධය පළකළ ද, සැබෑ අර්බුදය පවතින්නේ වෙනත් මානයක ය.
මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ පාර්ශවයන්ගේ කල්ක්‍රියාව යහපත් එකක් නොවන පසුබිමක, ඔවුන් දරන ප්‍රයත්නයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බැංකුවක ස්ථායීතාව අනතුරේ වැටෙන බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. සුරේෂ් ගේ මැදිහත් වීමට එරෙහිව ශක්තිමත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතින අතර, එහි දී බැංකු ක්ෂේත්‍රයතුළ ඔහු සතු සීමිත අත්දැකීම්, ඔහු මුදල් අමාත්‍යංශයේ තනතුරක් හෙබ වූ කාලසීමාවේ දී පැණනැඟි ගැටළු, හා ඔහුගේ ක්‍රියාවන් නිසා HNB බැංකුවේ කීර්තිනාමයට සිදුවන දැවැන්ත හානිය පිළිබඳව කරුණු මතු කිරීමට නියමිත බව සඳහන්.
මහ බැංකුවේ ප්‍රතිචාරය?
මෙරට බැංකු ක්ෂේත්‍රය තවමත් දැවැන්ත ආර්ථික අර්බුදයකින් පසුව යථා තත්ත්වයට පත්වෙමින් සිටින පසුබිමක, ප්‍රාග්ධන ප්‍රමාණවත්තා පීඩනයකින් පසුවෙමින් සිටින මොහොතක, බිඳී ගිය මහජන විශ්වාසය යළි ගොඩනඟා ගැනීමට වෙර දරමින් සිටින මොහොතක, පටු දේශපාලන අරමුණු තකා බලය යොදාගනිමින් කාමරවල සිට දියත්කරනු ලබන කුමන්ත්‍රණයන් ඉතාම හානිදායක ය; කුමන්ත්‍රණ දියත් කිරීම තබා කුමන්ත්‍රණ දියත් කිරීමට සිත් පහළවීම ම බෙහෙවින් හානිදායක ය. මෙකී චෝදනා සත්‍ය ද නැති ද යන වග අවසානයේ තීරණය කරන්නේ නියාමකයන් සහ විමර්ශකයක් විසින් වූව ද, මෙමඟින් මහජනතාවට අවබෝධවන පුළුල් සත්‍යයක් පවතියි:
“එනම්, පද්ධතිමය වශයෙන් රටේ පවතින වැදගත් ආයතනවල පරිපාලනය අපකීර්තියට ලක් නොවිය යුතු ය. එය හුදෙක් නෛතිකව විසඳාගත හැකි කරුණක් සේ සලකා බැහැර නොකළ යුතු අතර, විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳ කරුණකි. එය ප්‍රතිසංස්කරණ මුවාවෙන් පැමිණෙන පෞද්ගලික අභිලාෂයන්ගෙන් තොරවිය යුතු ය.”
මේ වන විට, මෙම ගැටළු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වෙත ද නිල දැනුම් දීමක් සිදුකර ඇති බව දැනගන්නට ඇත.



