අලුත් අවුරුද්ද ලංගමට සරු වෙයි. දවස් 06කදී ඉතිහාස ගත ආදායමක් උපයලා!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය ඉතිහාස ගත වාර්තාවක් තබමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කළ කොළඹින් පිටතට ධාවන සැලැස්මෙන් රුපියල් බිලියනය ඉක්මවූ ආදායමක් උපයා තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එය ඉතිහාස ගත අදායම් ඉපැයීමක් බවයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය සිය ප්‍රවාහන සේවය ආකාර දෙකකට වර්ග කර තිබේ. එනම් කොළඹින් පිටතට සහ කොළඹ තුළට ලෙසයි.

ඒ අනුව කොළඹින් පිටතට ධාවන සැලැස්ම යටතේ මෙතෙක් පැවති බස් රථ ඇණියම භාවිතා කරමින් අදාළ වාර්තා ගත ආදායම උපයා ඇති බව සභාපතිවරයා පැවසිය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්ම යටතේ පසුගිය 09, 10,11, 12 සහ 13 යන දින කොළඹින් පිටතට මගී ප්‍රවාහනය සිදුකළ අතර අද (15) වැනිදා සිට එළඹෙන 21 වැනිදා දක්වා කොළඹ තුළට මගී ප්‍රවාහන කටයුතු සිදුවෙයි.

”ඒ අනුව පසුගිය 08 වෙනිදා ආදායම මිලියන 163ක්, 09 වෙනිදා මිලියන 173ක්, 10 වෙනිදා මිලියන 193ක්, 11 වැනිදා ඉතිහාසයේ වාර්තා ගත අදායමක් ලෙස මිලියන 213ක ආදයමක් උපයල තිබෙනවා. ඒ කියන්නේ 11 තමයි වැඩිම මගීන් පිරිසක් අරන් ගිහින් තියෙන්නේ. සාමාන්‍ය දවසකට මිලියනයයි මගී ප්‍රවාහනය කෙරෙන්නේ. නමුත් 11 වැනිදා තියෙන රථ ඇනියම භාවිතා කරලා ලක්ෂ 20ක් රට තුළ සංසරණය කරලා තියෙනවා. විනය සහ මනා කළමණාකාරිත්වය තමයි මෙහිදී අපි අත්පත්කරගත්තේ. පහලම සේවකයාගේ සිට ඉහලම සේවකයා දක්වා හැමදෙනාම කැපවීමෙන් දිවා රාත්‍රී නොබලා පැය 24ම වැඩකරලා දවස් 06ක් ඇතුලත බිලියනයක අදායමක පහුකරලා තියෙනවා.” යනුවෙන් සභාපතිවරයා සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදා තත්ත්වය මත දුම්රිය ධාවනය අඩාල වීම නිසා පිට පළාත්වලින් කොළඹට බස් රථ 1500ක් කැඳවීමට කටයුතු කර තිබේ. මේ අතර වාර්තාගත දිනයක් ලෙස සැලකෙන පසුගිය 11 වැනිදා බස් රථ 4698 ක් ධාවනයේ යොදවා ඇත.