Home පුවත් ක්‍රී​ඩා ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW:

ක්‍රිකට්වලට හූ කිමේ කලාව වර්ථමානයට ඉබේ පාත් වුණේ නැත.1986 දී ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදීම ජය ගත් අතර එහිදී පළමු තරග දෙකේදි අසාර්ථක වී ලකුණු නොලබා දැවී ගිය රෝයි ඩයස්ට ප්‍රේක්ෂකයෝ හූ කීහ. ඩයස් අදටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින ශතකය ලැබූ සහ ශ්‍රී ලංකාව බිහි කළ මනරම්ම පිතිකරුවෙකු බවට අවිවාදිතය.ඉන් අනතුරුව නරක තත්ත්වයක් දකින්නට ලැබුණේ අරවින්ද සිල්වා ශාරිරක යෝග්‍යතාවය සළකා කණ්ඩායමෙන් නෙරපීම නිසා අර්ජුන නායකත්වයෙන් ඉවත් වූ මොහොතේ,රොෂාන් මහානාමගේ නායකත්වයෙන් සාජා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් කිසි සංවිධානාත්මක හැඩයකින් සිදු වූ විරෝධය දැක්වීමය.එහිදි අසංක ගුරුසිංහගේ ගෙදරට ගල් ප්‍රහාරයක් ද එල්ල විය.


එහෙත් දැන් සිඳුවන විරෝධතා සංවිධානාත්මක පෙළඹවීම් දක්වා ගොඩ නඟන්නට එදාට වඩා පහසුයි.සමාජ මාධ්‍ය ජාලයේ කළු ඇඳුමෙන් එන්න,විරෝධතා පූවරු රැඟෙන එන්න වැනි අදහස් පළ කිරීම් මඟින් මේ තත්ත්වයන් වෙනදාට වඩා පහසුවෙන් සංවිධානය කිරීමට හැකියාව ඇත.සමහර විට මේවා පළමු කොට පළ කරන අය එම තරගයට එන්නේ ද නැත.ඒවා සමහර විට මුදල් ගෙවීම් මත පදනම්ව පළකරන දේ වන අතර ඒවා ෂෙයාර් කරමින් සහ ඒ විදිහටම සිඳු කරමින් පරාජය ගැන තදින් දුක්වෙමින් සිටින වියරු වැටී සිටින ප්‍රේක්ෂකයා ඒ කෝච්චිවලට ගොඬවන්නේ හරි නැවතුමක් ද නොදැනය.ප්‍රීතීවීමේ උවමනාව විසින් මුසු කරන රස දියර ද ගත් පසු එන දුකට සහ වියරුවට මිශ්‍ර වන ඒවා, හූවට,බැන වැදීම්වලට එහා තැනකට වුව විරෝධයන් ගෙන යා හැකිය. නිදහසේ හැරමිටිය තමන්ගේ සීමාවෙන් පිටතට ඇවිත් අනෙකුගේ නහයේ වැදිමෙන් බරපතල ආනිශංෂවලට වුව මුහුණ දෙන්නට සිඳු විය හැකිය.


ඉතිහාසය හා සසඳද්දි අද වන විට ලෝකයේ දරුණුම කඩා වැටිම පෙන්වන කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය.ඊට හේතුව එම ක්‍රිකට් පරිපාලනය සමග ක්‍රීඩකයන්ට ඇති ගැටළුය.කොදෙව් කිහිපයක් එක්ව සැකසෙන කණ්ඩායමක් විනා බටහිර ඉන්දීය කණ්ඩායමට එක රටක් නැත.වෙනත් ක්‍රීඩාවලට වෙනම යන රටවල් කිහිපයක් එහි ඇත.මේ නොගැලපීම් නිසා ද පරිපාලනය සහ කණ්ඩායම අතර දුරස්තභාවයක් ගොඩ නැඟී ඇත.ආර්ථික වශයෙන් මෙන්ම පහසුකම් ලබා දීම අතින් ද කොදෙව් ක්‍රීඩකයන් සිටින්නේ කනස්සල්ලෙන්ය.කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම එකවර ලෝක සූරතාවය දිනා ගත් මොහොතේ ඔවුන් තරගාවලියට පැමිණ තිබුණේ ක්‍රීඩා කරන්නට ඇඳුමක්වත් නැතිවය.


ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස්ය.ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳ වැටුපක් ලබයි.එසේම ලෝකයේ ඉහළම තාක්ෂණික පහසුකම් සමඟ ඔවුන් වැඩ කරයි.එහෙත් ඔවුන් අසාර්ථකය.මේ අසාර්ථකවිම සමාජ ගත කරන්නේ ශම්මිගේ කණ්ඩායම ලෙසය.එක තැනකදී ආගමක් ඊට ගාවයි.තවත් තැනකදී මිත්‍ර සමාගම් ගෑවෙයි.ඒ සමහර පෙරළා ප්‍රශ්න කළ විට ශම්මි එසඑස්සී ද සීසීසී ද වත් නොදනියි.මෑතක එක සංවාදයක තිබුණේ පවන් රත්නායක ශම්මිගේ එස්එස්සි එකට ආවනම් මෙළහකට ශ්‍රී ලංකාවට ගහලා කියාය.ඇත්තටම පවන් එස්එස්සි නොවේය.ඔහු සීසීසී ය.ශම්මි ද සීසීසී ය.ඊ ළඟ වටයේදී පවන් අසමත් වුවහොත් ඔහු ශ්‍රී ලංකා ගැහුවේ ශම්මිගේ ක්ලබ් එකේ නිසා ලෙස ද කතා නිර්මාණය කරන වෘත්තිමය වගකීමකින් බැදුණ පිරිසක් සිටින්නේය.එයින් ක්‍රිකට්වලට සමාජය තුළ අඩු පාඩු පෙන්වා දෙන බුද්ධිමය සංවාදයක් හැඳෙන්න ඇති ඉඩ වසා දමා අසාර්ථවිමේ ගැඹුර ශම්මි ළඟින් නැවතෙයි.එවන් හානියක් මේ සරල පුද්ගල ඉලක්ක ප්‍රහාරවලින් වන්නේනම් සහ එයින් ලංකාවේ ක්‍රිකට් මොනයම් පුද්ගලයෙකුට වුව නැගිට්ටන්නට අපහසු තරමේ ප්‍රපාතයකට වැටෙන බව හැඟෙන්නේනම්,වත්මන් ක්‍රීකට් සමඟ එකඟ නැති හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස වැන්නෙක්වත් වර්ථමානයේ පවතින විරෝධතා නොපිළිගන්නා බව සහතිකය.මන්ද ඔහු වුව සභාපතිකමට එන්නට උත්සාහ කරනවානම් එහි ඇත්තේ ක්‍රීඩාවට කරන ආදරය බැවින්ය.


මේ කණ්ඩායම කුමන පංතිය නියෝජනය කරන එකක් ද? වැඩි දෙනෙක් ගම්වලින් පැමිණි කේළඹ ප්‍රධාන පාසල්වල අය නොවේය.වැඩිම පිරිසක් ගාල්ලේය.රත්නපුර සිවලිය වැනි පළමු පෙළ ක්‍රිකට් නොගසන පාසලකින් පැමිණි ඒශාන් මාලිංග ද කණ්ඩායමේය.කමිල් මිෂාර පමණක් කොළම ප්‍රධාන පෙළේ පාසලකින් කණ්ඩායමට පැමිණ සිටියි.පැතුම් ඉසිපතනය වුව,එය රගර්වලට තරම් ක්‍රිකට්වලට හිතකර නැත. ඉසිපතනයටත් පැතුම් එන්නෙ කළුතරින්ය.කුසල් ඉතා අඩු ආර්ථික මට්ටමක් සහිත පවුලකින් පැවත එන ක්‍රීඩකයෙක්ය.මේ ක්‍රීඩකයන්ගේ මුල් ගැන කතාවන් මහා ධනවත් පවුල් පසුබිමකට සම්බන්ධ නැත.සුවිසල් පාසල් සමඟ සම්බන්ධ වී ඇත්නම් එයද ක්‍රිකට් නිසාය.


කතාවට පිවිසෙන්න අවශ්‍යය එතැනින් ය.මේ සමහර ක්‍රීඩකයන් නොව පවුල් ද ඇතැම් විට මේ කඩා පාත් වූ දැවන්ත පරිභෝජන ලෝකයෙන් තමන්ගේ ඉතිහාස ෂැටලිම ගලවා දමන්නට ගන්නේ විශාල උත්සාහයක්ය.ඔව්හූ දීර්ඝ කාලයක් ඒ සුඛොපභෝගි ජීවිත තුළ ගිලී සිටි සහ ඒවා උත්පත්තියෙන්ම ලැබුණ ආභරණ බව පෙන්වීමට උත්සාහ කරති.සමහර විට ඔවුන්ට විස්කි නොව කිසිඳු සැර පානයක් හුරු නැති බව පෙන් වූ අවස්ථා ද එම පවුල්වල තොරතුරු සොයා කිදා බසින විට හඳුනාගත හැකිය.


ඔවුන්ට මුල සිටම හුරුව තිබුණේ ක්‍රිකට්ය.ඒ්ත් නොසිතූ විරූ හැටියට පවුල් පිටින් යම් ආශ්චර්යක් සහ ආනන්දයක සහිත සුඛෝපභෝගී ජීවිතයක් උරුම කර දෙනු ඇතැයි ඔවුන් පවුල් පිටින්ම අපේක්ෂා කළේ නැත.සියල්ල ක්‍රිකට් ගහපු නිසාය.ඒවා තව එන්නේද ක්‍රිකට් ගහපු නිසා මිස ක්‍රිකට් හොඳට ගසන්නට උත්සාහ කරනවා විනා ඔවුන්ට පහළ වූ අලුත් ජීවිතය ස්ථාර කර ගන්නට ඒවා තව තවත් විශාල කර ගන්නට මුලික අවධානය හිමිවන්නේ නිතැතින්ය.ඒ උත්සාහයට දැන් ඔබ හූ තියන විට ඔවුන්ට අවශ්‍යය අනෙක් කණ්ඩායම පරාජය කිරිමට සහ ඔබේ හූවට එකට එක කිරීමය.


ඔවුන් ක්‍රිකට් කණ්ඩායමට නාවේනම් සහ ක්‍රිකට්වලට ඒත් ආදරය කළේනම් ඔවුන් ද පවුල් පිටින් රැඳෙන්නේ වායු සමීකරණය කරන ලද කාමර තුළ සිටින නරඹන්නන්ගේ කුලකයට නොවේය.ඔබු හූ කියන තැන සිටින ප්‍රේක්ෂකාගාරයේ සිමෙන්ති බැම්මකට හෝ ප්ලාස්ටික් පුටුවකටය.
දැන් ඔවුන් සහ මේ හූව අතර හැදුණ පරතරය කියවා ගන්නට සහ ඒ සඳහා වන ක්‍රිකට්මය ගෝල ඉෂ්ඨ සිද්ධ කර ගන්නට කල්පනාවක් නැත.ඔවුන් සිටින්නේ ඔබ සිටින තැන සිටින මුල් නොපෙනෙන පරිදි වසා ගැනීමේ තද උවමනාවකය.උදාහරණයකට පෙර ඉතා සමීපව සිටි මිනිසුන් කරදරයක පත්ව සිටින විට ඔවුන් ඒ ගැන තොරතුරු කියන්නට කතා කරන පුදගලයාට කියන්නෙ ඒ පිඩාව නිසාම මුළු රටම නිහඩව නිසලව සිටින කාලය තුළ ඔහු අලුත් සමාජයේ මිතුරන් සමඟ වැටෙන්නම විස්කි බොමින් සිටි බවය.ඒ සමාජ මිතුරන් විස්කි බීමට අමතරව පීඩිවට පත් වූ මිනිසුන්ට තමන් ඉපැයූ ධනයේ අත්රික්ත බෙදා දෙන්නට විවිධ සංවිධානවලට පරිත්‍යාගද කළත්,එවැනි හැඟීමක් ඒ සමාජයට අලුත් වූ සාමාජිකයන්ට දැනෙන්නේ නැත.


මෙවැනි පසුබිම් තුල රැදුණු ක්‍රිකට් ක්‍රීඩක ජීවිත වෙනස් කරන්නට ඔවුන්ට ලබා දෙන අනේක පහසුකම්වලට නොහැකිය.තාක්ෂණයට නොහැකිය.වෙනස් කළ යුත්තේ මනසය.ඒ මනසට රිඳවන්න කළ හැකි දෙයක් ලෙස කාලයක් පවුල්වලට දැමුණු බාධක නැවත දැමීම අර්බූදයක් නොවන්නට කළ හැකිනම් වැදගත්ය.යළිත් වායු සමීකරණය කරන ලද කාමරවලින් පිට සිට තරග නරඹන තත්ත්වයට ගෙන ඒම වැදගත්ය.එසේම ක්‍රීඩකයාගේ වටපිටාවේ ඉලක්ක සකස් විය යුතු වන්නේ ක්‍රිකට්මය සැළසුම් සමඟය.ඉලක්කවලට යා යුතුව ඇත්තේ එලෙසින්ය.මේ වසරේ ඉලක්කය එක්දින කඩුලු 50 ක් හෝ එක්දින ලකුණු 1000 ක් වී ඒ සඳහා සැළසුමකට අනුව තමන්ගේ මුල් හොඳින් හඳුනන පුහුණුකරුවන් සමඟ මහන්සි වීම එහිදී වැදගත්ය.


ඒ තත්ත්වය ඇති කිරීමට ක්‍රිකට් දක්ෂතාවල ඌණතාවය වෙනස් කිරීමට විධිමත් මානසික අභිප්‍රේරණයක් මෙන්ම ක්‍රිකට් ලෝලීන් මේ තත්ත්වය අවබෝධ කර ගනිමින් ක්‍රීඩකයන්ගේ ආකල්ප වෙනස් කිරීමේ විවේචනයක් දක්වා සිය භාවිතාවන් බුද්ධිමත් සහ ක්‍රිකට්මය කළ යුතුව ඇත.ශම්මිගේ පරිපාලකය ගැන කතා කිරීම සහ එය වෙනස් කිරීමේ අරමුණ පදනම කරගත් මිනිසුන්ගේ ව්‍යාපෘතිවලින් බැහැරව පරිපාලනයට ඇති වගකීම් ඉටු කරන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය.


ඇතැම් ක්‍රීඩකයින් ජාත්‍යන්තරතලයේ දස්කම් දැක්වීම පිටුපස පරිපාලනයට පැමිණිය යුතු බව ඔළුවල තබා ගැනීමම තේරුමක් නැත.ශම්මි පළමු පෙළ හෝ ක්‍රීඩා කර ඇත.එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙවැනි ආර්ථිකමය වශයෙන් පළල් තැනෙකට යන ගමන ආරම්භ කරන්නට පරිපාලන සැකස්ම සකස් කළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවන ආනා පුංචිහේවාය.ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිනා දුන්නේ ගාමිණි දිසානායකගේ පාලනය තුළ ය.


ක්‍රීිඩකයින් අවශ්‍යය කරනවානම් රණතුංග පවුලේ කී දෙනෙක් මේ ක්‍රිකට් පරිපාලනයේ ඉහළ සිටියාද කියා ඔබ උදාහරණයකට කල්පනා කර සාර්ථක්වය විමසා බැලිය යුතුය.අර්ජුන,ධම්මික,ප්‍රසන්න සහ නිශාන්ත යන සියල්ල මෙහි ඉහළ වගකීම්වලට පත්ව වැඩ කර ඇත.96 න් පසුව ශ්‍රී ලංකාව 99 දී කුජිත වෙද්දී දෙදෙනෙක් පරිපාලනයේය.දෙදෙනෙක් කණ්ඩායමේය.


රණතුංගලා ගැන නිතර කතාවන නිසා උදාහරණයට එය ගත්තා විනා පෞද්ගලිකව ආරෝවක් නැත.එහෙත් එක් වරක් ලෝක කුසලානයක් නිමාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවක පඩි නඩි ගෙනාගත නොහැකි තත්ත්වයට පත් විය.දැන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ගමේ ක්‍රිකට්වලට වරප්‍රසාද දෙන්නට සහ ක්‍රීඩකයන්ට ඉහළ තාක්ධණය සමීප කරන්නට හැකි මට්ටමට විමධ්‍යගත වෙමින් තිබෙන සහ විමධ්‍යගතව ඇති පහසුකම් මැද ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රීඩා කෞශල්‍යය පහත වැටෙන්නේ ඇයි කියා අප කල්පනා කළ යුතු නැද්ද?


කණ්ඩායමට පැමිණි මුල දස්කම් දැක්විම සහ ස්ථාවර වූ විට එම තත්ත්වය ගුණාත්මකව පහත වැටීම කියන කාරණය විමසා බැලුව විට අවබෝධ කර ගැනීම අපහසු නැත.එය එසේ වන්නේ අලුත් ජීවිතවල බර දරා ගන්නට ක්‍රිකට් දරා ගැනීමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නට පවුල් පිටින්ම යොමු වීම නිසාය.නැවත ඒවා ඇතුළට ක්‍රිකට් ඇතුළත් කරන්නට අවශ්‍යය සමාජ බලපෑම හූ ව නොවේය.එවිට හූ වට කේන්තියෙන් සහ ක්‍රිකට් අල්ලාගෙන සිටින්නට ගසන ක්‍රිකට් ක්‍රීඩාවකින් එහාට ක්‍රිකට් ගමන් කරන්නේ නැත.


අපට හැඟෙන ඇත්ත එයය.සමාජය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ද තේරෙන බසින් මේ ක්‍රීඩකයන්ගේ මනසට ක්‍රිකට්මය උවමනාව ඇතුළත් කළ යුතුව ඇත.ඒ පවුල්වලට ඒ පණිවිඩය දැනෙන්නට හැසිරිය යුතුය.ඒ වෙනුවෙන් ඔවුන් සිටිය ලෝකයෙන් වෙනස් තැනෙක පසුවීම අඩුම තරමේ ක්‍රිකට් තරගයකදි හෝ වෙනස් කර සාමාන්‍ය තැනට ගෙන ඇවිත් සුපුරුදු දහඩිය සුවඳ දැනෙන තැනෙක අසුන් ගැන්විම හෝ කළ යුතුව ඇත.
ඒ නිසා මේ නැඟෙන හූව තමන්ගේ කෝපය ප්‍රකාශ කිරීමක් මිස ක්‍රිකට් හී අන්තර්ගතය වෙනස් කිරිමට කිසිසේත් බලපාන්නේ නැත.තුවාලය සුද්ධ නොකර බෙහෙත් දැම්මාට සුව වන්නේ නැත.ජනප්‍රිය සමාජජාලි සංස්කෘතිය තුළ තුවාලය කියා සිතන්නට ඔබට හුරු කරන්නේ,එකිනෙකාගේ ඇරියස් යවා ගන්නට සකස් කළ එදිරිවාදීකමකි.එය ඉන්ද්‍රජාලිකය.ඔබට පෙනෙන්නේ තුවාලය ලෙසින්ය.එය වෙනස් කරන්නටනම් සාර්ථක ඉණිමක් ගොඩ නඟන්නට අවශ්‍යය කරන සංසුන්කමින් සහ අවධානයෙන් සහ ක්‍රිකට් වටා කැරකෙන දේශපාලනික අස්ථානය ගැන හරි කියවීමකින් තුවාලය සොයා බැලිය යුතුව ඇත.


අපි තවමත් රටේ ක්‍රිකට්වලට එරෙහි වූ එල්ටීටීඊ වැනි සංවිධාන ජාත්‍යන්තරයට ගෙන යන්න ඒ හරහා හැදූ පණිවිඩය ගැන ඇගේ මයිල් කෙළින් කර ගත්ත ද,එය තමන් අතින් සිඳුවීම ගැන අවුලක් ද නැත.එසේ බව නොදන්නාකම ලොකුම අවුලය.එසේම ඒ පිටුපස සිටින වෛරය අවුලන පිරිසට ද මෙය කිසිඳු ආකාරයකට යළි ක්‍රිකට් සඳහා ජනතා මැදිහත්වීම අනවශ්‍යය ලෙස ගෙන ඒමට දරන උත්සාහයක් බව සිතෙන්නේ ද නැත.නොනවතින අනවශ්‍යය මැදිහත්වීම් කිරිම් බලය නොමැතිව කළ ද,බලය ඇති විට ඒ ඇති කළ ප්‍රවනතාවයන් කොච්චර දරුණුවට තමන්ට බාධා කරනවාද කියා හඳුනා ගනිමින් සිටින ආණ්ඩුව දිහා බලා හෝ ක්‍රිකට් පුටුවලට කෙළ හලන්නන් උගත යුතුය.මේ කපා ගනිමින් සිටින්නේ සමහර දවසක තමන්ටම ගොඩ එන්න බැරි තරම් ගැඹුරු වලක් බව ඔවුන්ට අවබෝධ වනු ඇත.එහෙත් ඒ වන විට ක්‍රිකට් වැළලී තිබෙන තැන ගොඩ ගන්නට බැරි තරම් යටක විය හැකිය.


හූ තබන බොහෝ දෙනාගේ ඒ හූ හඩවල්වල ඇත්තේ රිදුම්කන ආදරය බව අපි දනිමු.එහෙත් ඒ ආදරය ප්‍රකිශ කිරීමේ වැරදි මාවතකට කිසිවකු විසින් හෝ ඔබව පොළමවා ඇඳ දමා ඇති බව ඔබ නොදන්නා බව ද අපි දනිමු.හැඟීම් පමණක්ම නොවන බුද්ධිය විරෝධයකදී මාධ්‍ය සහ ස්වභාවය තෝරා ගැනීම සඳහා වැදගත්ය.