රටේ ජාතික ආරක්ෂාව තීරණය කරන්නේ පාතාලයද?

0
9

ආශිකා බ්‍රාහ්මණ

මෙතනින් අහන්න

මෙතනින් බලන්න

කොළඹ LNW:අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟ යළිත් වරක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවාදය මතුව තිබේ. පැහැදිලි ලෙසම ආණ්ඩු විරෝධී විපක්ෂ කණ්ඩායම් විසින් එම සංවාදය මතු කරමින් තිබෙන අතර සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකරන ඝාතන, වෙඩි තැබීම් සිදුවීම් ජාතික ආරක්ෂාව සමඟ ගෙන එහි පවතින සම්බන්ධය මතුකර දැක්වීමට උත්සහ ගන්නා ආකාරය පෙනෙන්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මතයක් දැරීමට, එය ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඉඩ දෙමින් ශ්‍රී ලංකා සමාජය තුළ මේ වන විට සැබෑ ලෙසම ජාතික ආරක්ෂාව බිඳ වැටීමක් හෝ බිඳ වැටීමේ අවධානමක් පවතීද යන්න පිළිබඳ සිතා බැලිය යුතුය.

ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්කරමින් ආසන්නතම සිදුවීම ලෙස දක්වන අකුරේගොඩ ද්විත්ව ඝාතන සිද්ධිය පැහැදිලි ලෙසම ජාතික ආරක්ෂාවට සමබන්ධයක් නොමැති බවට ඊයේ (17) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවයි. ඒ ආණ්ඩුවේ මතයයි.

මේ අතර අදාළ නිතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතයේ සුරක්ෂිතතාවය ඉතා දරුණු ලෙස බිඳ වැටී ඇති බව ඔවුන්ගේ විශ්වාසය බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසුවේ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතන සිද්ධිය සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවී විරූ බරපතල තත්ත්වයක් මතුව තිබෙන බවයි. ඒ අනුව පසුගිය වසරේ සහ මේ වසරේ ගෙවුණු කාලය තුළ සිදුවූ සංවිධානාත්මක අපරාධ කල්ලි නැතහොත් පාතාල කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් සිදුවූ වෙඩි තැබීම සහ එමඟින් සිදුවූ ඝාතන ඔස්සේ සමස්තයක් ලෙස ජාතික ආරක්ෂාවට බලපෑමක් එල්ල වී තිබෙන බව දේශපාලන වේදිකාව තුළ විපක්ෂ මතය බවට පත්ව තිබේ.

විපක්ෂ මතය එලෙස තිබියදී පසුගියදා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේ හුදකලා වෙඩි තැබීම් මගින් රටේ සමස්ත ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්, පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට රජය සමත් වනු ඇති බවත්ය.

“ජාතික ආරක්ෂාවට විශේෂ අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම්වලට අතීතයෙත් පුරුදුවෙලා තිබුණා එක එක කැරලිගැසීම්, ජාතිභේද ඇවිස්සීම් වගේ දේවල්. මේ වගේ කට්ටිය ඒගොල්ලන්ට ප්‍රතිරූප මවා ගන්න අවශ්‍ය වුණාම එක එක දේවල් කරන්න හදනවා. නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව ඊට අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා. පොඩි සිද්ධියක් කරන්න කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති. මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ආණ්ඩුවේ ඉන්න මැතිඇමතිවරුන්ට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගොල්ලන්නට මේ වනවිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා ඇති කියලා. පාතාලය යම් කිසි ප්‍රමාණයකට තාමත් ක්‍රියාත්මකයි. මේක දේශපාලන අපරාධයක් නෙවෙයි. පාතාලය ක්‍රියාත්මක වෙච්ච තැනක්. පාතාලය සියයට 100ක් මර්දනය වෙලා නැහැ කියලා අපි දන්නවා. මෝටර් සයිකලයක ගිහිල්ලා වෙඩි තියෙනවා කියන එක මුළු හමුදාවම කොළඹට දැම්මත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒ ගැන අපිට සතුටු වෙන්න බෑ. යම් කිසි පියවරක් ගන්න වෙනවා රජයට.” යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ සංවාදය මෙලෙස එක එක අතට දෝලනය වෙමින් පවතින තත්ත්වයක අප සිතා බැලිය යුතු කරුණක් වන්නේ සැබෑ ලෙසම ජාතික ආරක්ෂාව යනු කුමක්ද යන්නයි. වචනයේ මතුපිට අර්ථයෙන් බලන කළ ජාතික ආරක්ෂාව යන්න පිළිබඳ හැඟීම වනුයේ තුවක්කු, අවි ආයුධ, පොලීසිය, හමුදාවන් ඇතුළු පාර්ශව සමඟ සම්බන්ධ වූ ව්‍යුහයකි. රටක සිදුවන අපරාධ මර්දනයට, සතුරු උවදුරු, සිවිල් ගැටුම් වළක්වා ගැනීම සහ ඒවා කළමනාකරණය වෙනුවෙන් භෞතිකව එකී කාරණා යෝදා ගැනීම සිදුවෙයි. රාජ්‍ය පාලනය තුළ ඊට අදාළ නීතිමය, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබයි. එය එක් අංශයකි. ජාතික ආරක්ෂාව එම සීමාවට ලඝු කළ හැකිද? ඊළඟට මතුවන පැනයයි. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විග්‍රහයන් සිදුකර ඇති නමුත් වටින් විට කරළියට එන මෙම ජාතික ආරක්ෂාව යන කාරණය සමඟ එය මඟහැර යා නොහැකිය.

මේ වන විට රටක් ලෙස ගත හොත් අභ්‍යන්තර සිවිල් ගැටුම් නොමැත. කැරළි කණ්ඩායම්වල මතුවීමක් නැත. ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගලාගෙන යයි. ආසන වශයෙන් මේ වන විට T 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟද පැවැත්වෙයි. ලොවේම අවධානය යොමු වූ ඉන්දු – පාකිස්ථාන තරඟයද කොළඹදී පැවැත්විය. 2019 පාස්කු බෝම්බ පිපිරීමෙන් පසු එවැනි ඛේදවාචයක් සිදුවීමද වැළකී තිබේ. ජාතිවාදී ගැටුම් මතුවීමක් නැත. ඊට පරිබාහිරව පාතාල ගැටුම්, හොරකම්, දුෂණ ක්‍රියා ඇතුළු සිද්ධීන් ලෙස ගැනෙන සිදුවීම් වරින් වර මතුවෙයි. මේ මොහොතේත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කතාබහ අලුත් වී ඇත්තේ විශේෂයෙන් පාතාල ක්‍රියාකාරකම් හරහාය.

ජාතික ආරක්ෂාවේ විෂය ප්‍රමාණිකත්වය

ජාතික ආරක්ෂාව යන කාරණය හුදු තනි ඒකකයක් පිළිබඳ විවාදාත්මක කාරණයක් නොව එය අංශ කිහිපයක් පුරා පවතින එකිනෙකට බැඳුණු ක්‍රියාවලියකි. එහි අවසාන වගවීම සාමාන්‍ය ජන ජීවිතයට කොතෙක් දුරට බාධාවක් එල්ල වී ඇත්ද යන්නයි. ඒ අනුව ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය, නවෝත්පාදන, විද්‍යාව හා තාක්ෂණය,සදාචාරය,රාජ්‍ය පාලනය,ජාතික සමඟිය,විදේශ ප්‍රතිපත්තිය ඇතුළු සියලුම කාරණා අදාළය. එක් පසෙකින් මෙය සාර්ව චිත්‍රයකි. උදාහරණයක් ලෙස ජාතික ආර්ථිකය බින වැටුණ හොත් රටේ පැවැත්ම අභියෝගයට ලක්වෙයි. ජන ජීවිතය ව්‍යාකූල වෙන අතර ඒ සමඟ සමාජ විරෝධී ක්‍රියාකරකම් උත්සන්න වීම සිදුවෙයි. පසුගිය 2022දී ආර්ථිකය කඩා වැටුණු මොහොතේ ඇති වූ සමාජ දේශපාලන වෙනස්කම්, ප්‍රතිරෝධයන් පිළිබඳ නැවත හැරී බැලුවහොත් ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථිකයේ ඇති වැදගත්කම වැටහෙනු ඇත. රටක් ලෙස සාමූහික පැවැත්මක් වෙනුවෙන් ජාතික සමඟිය වැදගත්ය. වෙනසකින් තොරව එකිනෙකාට ගරු කරන, සංස්කෘතික වටිනාකම් රකින සමාජයක ජන ජීවිතය ප්‍රචණ්ඩ නැත. සාමකාමීය. එම සාමකාමී බව ගොඩනගන්නේ ජාතික සමඟිය විසිනි. එවිට ජාතික සමඟිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කොතෙක්දුරට වැදගත්ද යන්න පැහැදිලිය. විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් බැලුවද රටකට එහි ස්ථාවරත්වය එමඟින් සිදුවන නවෝත්පාදන රටකට ශක්තිමත් පදනමක් සපයයි. ලෝකයේ දියුණු රටවල්, කලාප දෙස විමසුම් ඇසින් බලවිට පසක් කරගත හැකිය. ඒ අනුව මෙකි සියලුම කාරණාවල ඒකරාශී වීම ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට වැදගත්ය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට විෂය ප්‍රාමාණිකයෙකු වන හිටපු වන්නි ආඥාපති මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් ඉතා පුළුල් විග්‍රහයක නියැලෙයි.

ජාතික ආරක්ෂාවේ මූලෝපායික වැදගත්කම
ජාතික ආරක්ෂාව ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකය ලෙස ගතහොත් නූතන දේශපාලන විද්‍යාත්මක සන්දර්භය තුළ එය හුදෙක් භෞතික දේශසීමා ආරක්ෂා කිරීම පමණක් නොව, රාජ්‍යයේ ස්වෛරීභාවය, ව්‍යවස්ථාපිත අඛණ්ඩතාව සහ පුරවැසියන්ගේ මානුෂීය ආරක්ෂාව තහවුරු කිරීමේ සමස්ත ක්‍රියාවලියයි. ශක්තිමත් ජාතික ආරක්ෂක ව්‍යුහයක් යනු දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය සඳහා ගොඩනැගිය යුතු අත්‍යවශ්‍ය පදනමයි. ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වන්නේත්, රාජ්‍ය පරිපාලන යන්ත්‍රණය බාධාවකින් තොරව ක්‍රියාත්මක වන්නේත් ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසනීයත්වය මතය. ආරක්ෂක රාමුවක් ශක්තිමත් වීම යනු රාජ්‍යයකට තීරණ ගැනීමේ ස්වාධීනත්වය සහ දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය උපායමාර්ගික අවකාශය හිමිකර දීමකි. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ ආරක්ෂක භූ දර්ශනය හැඩගැස්වූ ඓතිහාසික සහ වර්තමාන සාධක පිළිබඳ අවධානය යොමු කිරීමේදී ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී අතීතයේ සිදු වූ ප්‍රධාන සිදුවීම් හැරවුම් ලක්ෂ්‍යයන් ලෙස ක්‍රියා කර ඇත. මෙම සිදුවීම් හුදෙක් හුදකලා සිදුවීම් නොව, රාජ්‍ය යාන්ත්‍රණයේ ව්‍යුහාත්මක වෙනස්කම්වලට මග පෑදූ උපායමාර්ගික කාරණාය.

1983-2009 කාලය ගතහොත් සන්නද්ධ අරගල, යුද්ධයකට මුහුණ දුන් අතිශය බැරෑරුම්, අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක කාලයකි. ඉන් පසු කාලය තුළ මුහුණ දීමට සිදුවූ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ලෙස සාකච්ජාවට ලක්විය. අනෙක් ප්‍රධාන කාරණය 2022 මුහුණ දුන් ආර්ථික කඩා වැටීමය. මෙම සිදුවීම් හරහා සමාජය තුළ සිදුවූ වෙනස්කම්, මානුෂීය සබඳතා වල පළුදු වීම,ජාත්‍යන්තර වශයෙන් අත්පත්කරගත් අපකීර්තිය ඇතුළු සියලුම කාරණා ජාතික ආරක්ෂාව හා ගොණු වී තිබුණි.

රාජ්‍ය පරිපාලන හා නීතිමය ව්‍යුහයට සිදු වූ බලපෑම

මෙය ආකාර කිහිපයකින් දැක්විය හැකිය.

  • හදිසි නීති රෙගුලාසි සහ පරිපාලනමය මානසිකත්වය: දිගුකාලීන ආරක්ෂක තර්ජන හමුවේ සාමාන්‍ය සිවිල් නීතියට වඩා හදිසි නීති රෙගුලාසි මත යැපීම, ශ්‍රී ලංකාවේ පරිපාලනමය මානසිකත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර කළේය. මෙය සිවිල් පරිපාලනය තුළ මිලිටරිමය කාර්යක්ෂමතාව අපේක්ෂා කරන සංස්කෘතියක් බිහි වීමට ද හේතු විය.
  • ආයතනික ඒකාබද්ධතාවයේ අවශ්‍යතාවය: ආරක්ෂක අංශ, බුද්ධි අංශ සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධීකරණය තහවුරු කිරීමේ අවශ්‍යතාවය මෙම සිදුවීම් මගින් පෙන්වා දෙන ලදී. රාජ්‍යයක ආරක්ෂාව යනු හුදෙක් තුවක්කුව මත පදනම් වූවක් නොව, තොරතුරු විශ්ලේෂණය සහ උපායමාර්ගික සන්නිවේදනය මත පදනම් වූවක් බව මෙහිදී තහවුරු විය.
  • නීතිමය රාමුවේ පරිණාමය: සාම්ප්‍රදායික අපරාධ නීතියෙන් බැහැරව, අන්තවාදය සහ මූල්‍ය අපරාධ වැනි සංකීර්ණ තර්ජනවලට මුහුණ දීම සඳහා විශේෂිත නෛතික රාමුවක අවශ්‍යතාවය අවධාරණය විය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වෛරීභාවය සහ වර්තමාන අභියෝග
නූතන භූදේශපාලනික පරිසරය තුළ ශ්‍රී ලංකාවේ භූමියෙහි අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සංකීර්ණ අභියෝගයක් බවට පත්ව තිබේ. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටීම නිසා ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ තරඟකාරිත්වයට සෘජුවම මැදිවී සිටින අතර, එය රාජ්‍යයේ ස්වෛරීභාවයට නව මානයක තර්ජන එල්ල කරයි.

සමාජ සම්මුතිය පළුදු වීම: රාජ්‍යයක් සහ එහි පුරවැසියා අතර පවතින මූලික ගිවිසුම වන්නේ ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වයයි. රාජ්‍යයට ආර්ථික ආරක්ෂාව සැපයීමට නොහැකි වන විට නිර්මාණය වන “ආරක්ෂක රික්තකය” බාහිර බලවේගයන්ට සහ අන්තවාදී කණ්ඩායම්වලට රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට අවස්ථාව ලබා දෙයි.
දෙමුහුන් තර්ජන: සයිබර් ප්‍රහාර, වැරදි තොරතුරු ව්‍යාප්ත කිරීම සහ ආර්ථිකමය වශයෙන් රාජ්‍යය හිර කිරීම වැනි ක්‍රමවේද හරහා රාජ්‍යයක ස්ථාවරත්වය අඩපණ කිරීමේ ප්‍රවණතාවක් පවතී.
සමුද්‍රීය ආරක්ෂාව සහ ස්වෛරීභාවය: ශ්‍රී ලංකාව සතු සුවිශාල මුහුදු කලාපය තුළ නීති විරෝධී ජාවාරම් පාලනය කිරීම සහ සමුද්‍රීය සම්පත් මත පූර්ණ පාලනය තහවුරු කර ගැනීම රාජ්‍යයේ ස්වෛරීභාවයට සෘජුවම සම්බන්ධ වේ.

වර්තමාන රාජ්‍ය ප්‍රතිචාර මගින් සිවිල් නිදහස සහ ජාතික ආරක්ෂාව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමට උත්සාහ කළද, පවතින ආර්ථික දුර්වලතාවයන් එම ප්‍රයත්නයන් සීමා කිරීමට හේතු වී ඇති බවද දැක්විය යුතුය. මෙහිදී ආරක්ෂක වියදම් සහ සමාජ සුභසාධනය අතර පවතින ගැටුම නිරාකරණය කර ගැනීම සඳහා වඩාත් ඒකාබද්ධ සහ විද්‍යාත්මක ආරක්ෂක උපායමාර්ගයක අවශ්‍යතාවය මතු වේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව යනු මිලිටරිමය ශක්තිය පමණක් නොව, එය ආර්ථික ස්ථාවරත්වය, තොරතුරු සුරක්ෂිතතාව සහ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවයේ එකතුවකි. අනෙක් පසින් රාජ්‍යයේ මූල්‍ය ස්වාධීනත්වය බිඳවැටීම ජාතික ආරක්ෂාවට එල්ල වන සෘජු තර්ජනයක් වන අතර, එය බාහිර පාර්ශවයන්ට රාජ්‍යයේ ස්වෛරීභාවයට මැදිහත් වීමට මග පාදයි. මෙහිදී අතීත පාඩම් මත පදනම්ව, සාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදවලින් බැහැරව තාක්ෂණය සහ බුද්ධි තොරතුරු කේන්ද්‍ර කරගත් නව ආරක්ෂක සංස්කෘතියක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

මෙහිදී, ජාතික සයිබර් ආරක්ෂණ විධානයක් පිහිටුවීම, බුද්ධි අංශ තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සමුද්‍රීය නිරීක්ෂණ පද්ධතිය නවීකරණය කිරීම, ආර්ථික ආරක්ෂාව ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්කිරීම, විදේශීය ණය කළමනාකරණය සහ උපායමාර්ගික සම්පත් සුරැකීම ජාතික ආරක්ෂක මණ්ඩලයේ විෂය පථයට ඇතුළත් කරමින් නව ප්‍රතිපත්තිමය රාමුවක් සැකසීම යනාදිය මූලෝපායික උපායමාර්ග ලෙස විෂය ප්‍රවීණයන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ විවිධ දේශපාලනික සහ ආර්ථික කැළඹිලි මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා එහි ආරක්ෂක යාන්ත්‍රණය දක්වන ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහළ බව පෙනෙන්නට තිබෙන කාරණයකි. පවතින වටපිටාව තුළ ඉදිරි අනාගතය ජය ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ප්‍රතික්‍රියාශීලී ආරක්ෂක ක්‍රමවේදයකින් බැහැරව, දූරදර්ශී සහ ක්‍රියාශීලී ජාතික ආරක්ෂක උපායමාර්ගය වැළඳ ගැනීමය. එහිදී එක් එක් සිදුවීම් පාදක කරගෙන දේශපාලනික වුවමනාවන් ක්‍රියාත්මක කරවා ගැනීමට සමාජය මෙහෙයවීමක් සිදු නොකළ යුතු අතර සිදුවන්නේ කුමක්ද යන්න පිළිබද සමාජය විසින්ද වටහා ගත යුතුය. එසේ නොවන තැන් වලදී එම වටහා දීම කළ යුතුය. එනයින් බලන කළ ජාතික ආරක්ෂාව යනු හුදු එක් සීමාවක පවතින හුදෙකලාව ගත හැකි කරුණක් නොව සමස්ත සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ක්‍රියාවලියම ඊට බද්ධ වී පවතියි.