මෙතනින් අහන්න
මෙතනින් බලන්න
සටහන – ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය ඊයේ (25) දිනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
2021 අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාලව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර පැහැදිලි සාක්ෂි මත අත්අඩංගුවට ගැනීම සිදු කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සමඟ පාස්කු විමර්ශන දෙස සමාජ අවධානය යළි යොමුව තිබෙන අතර එම සිදුවීමට විරෝධය දක්වමින් විපක්ෂ පිරිස් අදහස් දක්වමින් තිබුණි.
කෙසේවෙතත් සමස්ත සමාජයක් ලෙස පාස්කු ප්‍රහාරයට එරෙහිව යුක්තිය අපේක්ෂාවෙන් සිටින බවට කිසිදු විවාදයක් නැත.
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා විදේශිකයින් බහුලව ගැවසෙන කොළඹ ප්‍රමුඛ හෝටල් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර ඉන් දිවි අහිමිවූ පිරිස 273ක් ලෙස දැක්වුණි. ඒ අතරින් 45 දෙනෙක් විදේශිකයෝ වූහ. එම ප්‍රහාරවලින් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ජීවිතකාලය පුරාම අබාධිත තත්ත්වයට පත්වූවන්ද වෙයි.
2019 අප්‍රේල් 21 – පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය
08.45am කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
08.45am කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය
08.47am කොළඹ කිංස්බරි හෝටලය
08.54am කොළඹ ෂැංග්‍රිලා හෝටලය
09.10am මඩකලපුව සියොන් දේවස්ථානය
09.12am කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය
01.40 pm – 01.45pm අතර දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල
02.15pm -02.35pm මහවෙල උද්‍යානය, දෙමටගොඩ
රටේ ජාතික ආරක්ෂාව සහ දේශපාලන අස්ථාවරත්වය ඇති කරන ලද එකී පාස්කු ප්‍රහාරය හේතුවෙන් එවකට රටේ පාලනය ඉසිලූ යහපාලන ආණ්ඩුවද දෙදරා යාමට බලපෑ ප්‍රධාන සිද්ධියක් ලෙස පාස්කු ප්‍රහාරය දැක්විය හැකිය. එම මිලේච්ජ ප්‍රහාර මාලාවට පෙර කලක පටන් සිදු වූ සිදුවීම් මෙන්ම අවසාන වශයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වෙන බවට ආරක්ෂක අංශ වෙත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට නොහැකි වීමත්, දෙස් විදෙස් සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ජීවිත රැකගැනීමට නොහැකි වීමත් යන සමාජ කම්පනය තවදුරටත් පහව නොගිය තත්ත්වයන්ය.
ප්‍රහාරය එල්ල වූ දා පටන් සමාජය බලාපොරොත්තු වූ යුක්තියේ අපේක්ෂාව තවමත් පහව ගොස් නැත. එදා යහපාලන ආණ්ඩුවට ඊට යුක්තිය ඉටු කිරීමට නොහැකි වූ අතර පාස්කු ප්‍රහාරයේ කරමතින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පාලනයද ඊට යුක්තිය ඉටු නොකරන ලදී. අනතුරුව පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද ඊට අත තැබීමට නොහැකි වූ අතර යහපාලන සමය තුළ ජාතික ආරක්ෂාව ඈලියවට යැවීම පිළිබඳව ඔහුටද චෝදනා එල්ල විය.
යුක්තිය ඉටුවීම ප්‍රමාදව පවතින නමුත් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් මඟින්ද විමර්ශන සිදුවිය. එම සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකෙරුණු අතර එම නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.
එම පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයම පදනම් කරගත් ප්‍රහාරයක් නොව එහි දේශපාලන කුමත්‍රණයක් පැවති බවට චෝදනාව එල්ල විය. හිටපු නීතිපති දප්පුල ද ලිවේර ප්‍රකාශ කර තිබුණේද එම ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව පැහැදිලි බවයි. එළඹෙන අප්‍රේල් 21ට එකී මිලේච්ජ, සහාසික ප්‍රහාරය සිදුව සත් වසරක් ගෙවෙන තැන තවදුරටත් සමාජය යුක්තිය අපේක්ෂාවෙන් පසුවෙයි.
ටර්නින් පොයින්ට් එක!
වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව එකී විමර්ශන යළිත් වටයකින් ආරම්භ කරමින් ප්‍රහාරය සම්බන්ධයන් මූලිකව විමර්ශන සිදුකළ, විශ්‍රාම ගොස් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර යළි සේවයට කැඳවන ලදී. අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් විය. පාස්කු ප්‍රාහරය සිදු වූ අවස්ථාවේ එම විමර්ශන ආරම්භ වූයේ ඔවුන්ගේ මූලික මැදිහත්වීමෙනි. පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව වෙත මෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේද ඔවුන් කරුණු රාශියක් ඉදිරිපත් කර තිබුණු අතර පාස්කු විමර්ශන සම්බන්ධයෙන් වූ සමාජ බලාපොරොත්තුව එදා පටන් ප්‍රධාන වශයෙන් යොමුව තිබුණේ මෙකී නිලධාරීන් වෙතය.
ප්‍රහාරය සිදුවෙන විට රටේ ආරක්ෂාව භාරව සිටි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට මෙන්ම ආරක්ෂාව භාරව සිටි රජයේ නිලධාරීන් වෙතද චෝදනා ඉදිරිපත් වූ අතර නඩු පිට නඩු වැටෙමින්, වන්දි පිට වන්දි ගෙවමින්, තනතුරු ,රැකියා අහිමි වෙමින් මේ දක්වා පැමිණ තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසු බලය ගත කිසිදු ආණ්ඩුවක් ඊට සාධාරණය,යුක්තිය ඉටු නොකළ අතර ජාතික ජන බලවේගයේ ජන වරම තුළ අදාළ විමර්ශන සිදුකර යුක්තිය ඉටු කිරීම ප්‍රමුඛතම කාරණයක් වෙයි.
පාස්කු ප්‍රහාරයට අදාළව කැපී පෙනෙන චරිතයක් ලෙස ඉස්මතු වූ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ වෙත චෝදනා එල්ල වුවද මෙතෙක් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තරම් අවකාශයක් නොතිබුණි. සුරේෂ් සලේ සම්බන්ධයෙන් ආන්දෝලනය වර්ධනය වන්නේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් විකාශය කරනු ලැබු SRI LANKA’S EASTER BOMBINGS ; DISPATCHES යන වාර්තාමය වැඩසටහන හරහාය. හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට එම වීඩියෝ වැඩසටහන හරහා අනාවරණය කර තිබුණි. ඒ,දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම් වූ විදෙස්ගතව සිටින අසාද් මව්ලානාගේ අනාවරණයෙනි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සුරේෂ් සලේ අතර පැවති සම්බන්ධයද එම චැනල් 4 වීඩියෝව හරහා සමාජ ගත කර තිබුණි. කෙසේවෙතත් තමන් වෙත එල්ල කර තිබෙන එකී චෝදනා ප්‍රතික්ෂේප කිරීමටද සුරේෂ් සලේ, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කටයුතු කර තිබුණි.
ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන ප්‍රශ්නයේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ දෙසටද ඇගිල්ල දිගු වූ අතර මෙම ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට හඳුනා ගෙන ඇති පසුබිමක එකී චෝදනාව නැගීමද නවතා ලිය නොහැකිය. ඒ අනුව පසුගිය කාලය පුරාම සංවාදයට ලක්ව තිබුනේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න සහ එය අනාවරණය කර ගැනීම පිළිබඳවය.
මේජර් ජෙනලර් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වනදා ශ්‍රී ලංකා යුද්ධ සේවයට එක්ව තිබෙන අතර ඔහු ශ්‍රී ලංකා යුද්ධ පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කර ඇත.ඉන් අනතුරුව ඔහුට භාෂා කිහිපයක් හැසිරවීමට තිබූ හැකියාව මත 1993 දී හමුදා බුද්ධි අංශයට තෝරාගෙන තිබේ. ඔහුගේ සිය රාජකාරීමය දිවිය තුළ 2006 – 2009 දක්වා වූ කාලයේ පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද 2016 – 2018 දක්වා වූ කාලයේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. 2019 ජනවාරි සිට එම වසරේ නොවැම්බර් දක්වා වූ කාලසීමාවේ දී සුරේෂ් සලේ දිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ එන්ෆිල්ඩ් පාඨමාලාව හදාරමින් සිට ඇත. අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් පසුව 2019 දෙසැම්බර් සිට ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයතු කර ඇති ඔහු 2024 අගදී රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත් කරනු ලැබීය.
මේ අතර පැති කිහිපයක් ඔස්සේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන තවදුරටත් සිදුවෙන මොහොතක සහ කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන නඩුව දිනපතා විභාග වෙමින් පවතින අතරතුර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.තත්ත්වය මෙලෙස පවතින පසුබිමක ඊයේ පෑලියගොඩ ප්‍රදේශයේදී හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානිව අත්අඩංගුවට පත් විය.
විපක්ෂයේ විරෝධය
හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කර තිබුණි.
X පණිවිඩයක් තබමින් ඔහු පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත දඩයම් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන හුදු ප්‍රචාරක අරමුණු සහිත දේශපාලන නාට්‍යයක් බවට පත් නොවිය යුතු බවට ඔහු අනතුරු අඟවන අතර ඕනෑම පරීක්ෂණයක් විශ්වසනීය සාක්ෂි සහ වෘත්තීයභාවය මත පදනම් විය යුතු බවත්, දේශපාලන වාසි තකා බුද්ධි අංශ දුර්වල කිරීම බරපතළ වරදක් බවත් ඔහු අවධාරණය කරයි.
සත්‍යය සෙවීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍යයට සහ ආයතනික ගරුත්වයට අනුකූලව සිදුවිය යුතු බවද හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසා තිබේ.
එම අත්අඩංගුවට ගැනීම සහ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සිය X ගිණුමේ සටහනක් තබමින් පවසයි.
මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන අතර දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු බව දිලිත් ජයවීර සඳහන් කර තිබේ.
එවැනි විශිෂ්ට නිලධාරියෙකු මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමට ලක්කිරීම දේශපාලන අරමුණක් සහිතව සිදුකළ බවක් පෙනීයන බවත් එහි සාධාරණත්වය සහ අභිලාෂය මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් පියවරක්ද යන සැකය මතුවෙන බවත් ඔහු කියා සිටියි.
මේ අතර මෙම පියවර විශ්වසනීය සාක්ෂි මත පදනම් නොවී හුදෙක් පටු දේශපාලන අරමුණු මත සිදුකර ඇත්නම් එය යුක්තිය හෑල්ලුවට ලක් කිරීමක් පමණක් නොව අපේ සන්නද්ධ හමුදාවල චිත්ත ශක්තියට සිදුකරන බරපතල හානියක් බවත් පවසන මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටින්නේ ජාතියේ ආරක්ෂාව උදෙසා දිවිහිමියෙන් කටයුතු කරන මිනිසුන් සහ කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියේ ගොදුරු බවට පත්නොවිය යුතු බවයි.
යුක්තිය පාරදෘශ්‍ය, අපක්ෂපාතී සහ විකෘති කිරීම්වලින් තොර වියයුතු බවත් එයින් තොර ඕනෑම පියවරක් ඊට වගකිව යුත්තන්ට නොමැකෙන අඳුරු පැල්ලමක් පමණක් ඉතිරි කරනු ඇති බවත් දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද මෙම අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ දේශපාලන නාඩගමක් ලෙස දක්වා තිබුණු අතර ගල් අඟුරු ප්‍රශ්නය වසා ගැනීම වෙනුවෙන් මෙය භාවිතා කරන බවටද ඔහු චෝදනා කරන ලදී.
විපක්ෂයේ ඇතැමුන්ගේ විරෝධය මෙලෙස එල්ල වන වට අනෙක් පසින් පාස්කු විමර්ශන සහ යුක්තිය ඉටුවීම සම්බන්ධ සාධනීය තත්ත්වයක් ලෙසද දක්වා තිබුණි.
සිවිල් ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන චිරන්ත අමරසිංහ මාධ්‍ය හමුවක් තබමින් ඊයේ දින පවසා තිබුණේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතුටු වන බවයි. පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට පසුගිය කාලය පුරා දිගින් දිගටම පැවසුවද ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුනොවුණු නමුත් මේ මොහොත වන විට එය සිදුව ඇති බවත් ඒ සමඟ ආණ්ඩුව සම්බන්ධයෙන්ද පැහැදීමක් ඇති බවයි ඔහු පැවසුවේ.
මෙවැනි අතිශය සංවේදී කාරණාවකදී ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය හෝ වෙනත් ස්වාධීන සිවිල් කණ්ඩායමකට සිය අදහස්, මතය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. එහෙත් මෙවැනි අතිශය ස්වාධීන විමර්ශනයක අවශ්‍යතාව පවතින පසුබිමක ඊට දේශපාලන මැදිහත්වීම් සිදු නොවිය යුතුය. එය එලෙස වන්නේද නැද්ද යන ප්‍රශ්නය එලෙස තිබියදී ප්‍රමුඛ විය යුතු වන්නෙම යුක්තිය පසිදලීමයි.
දේශපාලන කෝණයෙන් බලන්න එපා. නීතියේ ආධිපත්‍යයට ඉඩ දෙන්න
ඒ අනුව පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම වින්දිත පාර්ශවය වන කතෝලික සභාව නියෝජනය කරමින් අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු දක්වා තිබුණි.
”දැනට එම පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විය හැකිද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සැකකරු ලෙස පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැරදිකරුවෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණය විසින්. ඒ නිසා, මේ අවස්ථාවේ කලබල වී අවසන් තීන්දුවක් දෙන ප්‍රකාශ කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මත පැතිරවීම කිසිසේත්ම සුදුසු නෑ. රටක් ලෙස අපි කළ යුත්තේ, මේ විමර්ශන දිහා ඉවසීමෙන්, විමසිල්ලෙන් බලා සිටීමයි. විමර්ශනවල ප්‍රතිඵල මොනවාද කියලා බලලා, නීතියට ඉඩ දීම තමයි වගකීම.”
”මෙය දේශපාලන කරුණක් ලෙස අර්ථකථනය කිරීමට හෝ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා මේ විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කිරීම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සෑම අහිංසක ජීවිතයකටම සහ තවමත් ජීවිත පුරා වේදනාවෙන් ජීවත් වන වින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක්. මෙය සාමාන්‍ය අපරාධයක් නෙමෙයි. මෙය මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ, රටම කම්පනයට පත් කළ මහා සමූල ඝාතනයක්. ඒ නිසා, මේකේ පිටුපස තිබෙන සත්‍යය හෙළි විය යුතුයි.” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව මෙය දේශපාලන කෝණයෙන් නොව නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වීම යන තැනින් බැලිය යුතු වන බව උන්වහන්සේ අවධාරණය කරයි. කතෝලික පල්ලිය ලෙස උන්වහන්සේ තවදුරටත් ඉල්ලා සිටියේ අදාළ විමර්ශන ස්වාධීනව, බාධාවකින් තොරව ඉදිරියට යාමට ඉඩ දෙන ලෙසයි. යුක්තිය ප්‍රමාද වුවද අවසානයේ එය ඉෂ්ට වනු ඇතැයි විශ්වාස කරා බවද සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළහ.
පසුගිය වසරේදී අත්අඩංගුවට ගනු ලැබූ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ද පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කර තිබුණි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව් අත්අඩංගුවට ගැනුණු අතර පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාව හරහා සිදුවූ අනාවරණය ඔස්සේ ඊට පිල්ලෙයාන්ට ද චෝදනා එල්ල විය.
සිද්ධි ලෙස ගත් විටද සම්බන්ධතා දාමයක් ඔස්සේ එය සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. සියලු සත්‍යයන් හෙළිකර ගැනීම වෙනුවෙන් විමර්ශන සිදුවන අතර දිනපතා පාස්කු නඩුවද විභාග වෙයි. විටින් විට මතුවන තත්ත්වයන් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවධානය අඩු වැඩි වශයෙන් මතුවෙමින් තිබේ. මෙය දැන් ඇත්තේම දේශපාලන නාඩගමක් අභිමුව නොව සාධාරණය, යුක්තිය ඉටුකර ගැනීමේ අභිලාශය සමඟිනි. එකී සාධාරණය හා යුක්තිය ඉටුවීම තුළ නාඩගම් අවසන්ව දේශපාලන විශ්වාසය ස්ථාපිත වනු ඇත.


