දික්ඔය මූලික රෝහලේ සිදුවීම : 23 හැවිරිදි තරුණියකගේ දේහයක් දුෂණය කරලා

රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ LNW :

පුද්ගලයෙකු මියගිය පසුව පවා එම දේහයට හිමිවිය යුතු ගරුත්වය සුරැකීම ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක මූලික ආචාර ධර්මයකි.

නමුත්, මෙම සිද්ධිය එය උල්ලංඝණය කර ඇති බව පෙනී යයි.

ඒ, දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ තරුණියකගේ මෘත දේහයකට එම රෝහලේම සේවකයින් තිදෙනෙකු විසින් අපහාස වන අයුරින් ලිංගික හිංසනයක් සිදු කළ බවට එල්ල වී ඇති බරපතල චෝදනාවක් පිළිබඳ පුවතක් වාර්තා වේ.

මෙම නින්දිත ක්‍රියාව සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් නිසි පියවර නොගැනීමට එරෙහිව වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වී ඇත. මියගිය තරුණියගේ ඥාතීන් සහ වෘත්තීය සමිති නායකයින් මෙහිදී බලකර සිටින්නේ වගකිවයුත්තන්ට එරෙහිව සීඝ්‍ර අධිකරණමය ක්‍රියාමාර්ග සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පොලිසිය මැදිහත් වී සාධාරණය ඉටු කරන ලෙස උද්ඝෝෂකයින් දැඩිව ඉල්ලා සිටිති. මෙය රෝහල් පද්ධතිය තුළ පවතින සදාචාරාත්මක පිරිහීම සහ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරන අවස්ථාවකි.

දික්ඔය මූලික රෝහලේ සිදුවීම මගින් සමස්ත රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියටම නොමැකෙන කළු පැල්ලමක් එක් කර ඇත. මෙවැනි තිරිසන් ක්‍රියාවන් වැළැක්වීමට නම්, වැරදිකරුවන්ට දඬුවම් දීමට අමතරව සමස්ත “ආයතනික සංස්කෘතියේ” (Institutional Culture) මූලික වෙනසක් සිදු විය යුතුය. රෝහල් වැනි පොදු ආයතන තුළ ජනතාවගේ ආරක්ෂාව සහ මරණයෙන් පසුව පවා පුද්ගලයෙකුට ලැබිය යුතු ගරුත්වය තහවුරු කිරීම බලධාරීන්ගේ පරම වගකීමකි.