විදේශගත ශ්‍රමික ප්‍රේෂණවල සැලකිය යුතු වර්ධනයක්!

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ LNW :

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව, විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණවල සැලකිය යුතු වර්ධනයක් වර්තමානයේ දක්නට ලැබේ.

විශේෂයෙන්ම 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය සියයට 32කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාලසීමාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට වඩා වැඩි මුදලක් මෙරටට ලැබී ඇති අතර, පෙබරවාරි මාසයේ පමණක් ලැබුණු ආදායම ඩොලර් මිලියන 729කි.

මීට අමතරව, වසරේ මුල් මාස කිහිපය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.

මෙමගින් පැහැදිලි වන්නේ විදේශගත ශ්‍රමික ප්‍රජාව හරහා මෙරට ආර්ථිකයට ලැබෙන මූල්‍ය දායකත්වය ශක්තිමත් වෙමින් පවතින බවයි.