උපාලි කොළඹගේ
කොළඹ LNW:ප්‍රධාන පෙළේ රටවල් තුනක්, එනම් ඇමරිකාව, ඉරානය හා ඊශ්‍රායලය යුද්ධයක පැටලී මුළු ලෝකයම අපායක් කරමින් සිටී. මේ බිහිසුණු ප්‍රචණ්ඩ මෙන්ම තිරස්චීන යුද්ධයෙන් ගැලවී ඇතැයි සිතා ගැනීමටවත් නොහැක .
ඇත්ත වශයෙන්ම පාර්ශව තුනක් ඇතත් සිදු වන්නේ දෙගොල්ලක් එකතු වී එක ගොල්ලකට ගැසීමය. සියලු සදාචාර සීමාවන් ඉක්මවූ මෙම යුද්ධයේ මහ මොළකරු ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
කෙසේ වුවත් පොදුවේ අනික් සියලු රටවල් මුහුුණ පාන ආර්ථික අසීරුතාවලට අමතරව අපේ රට මෙහිදී මුහුණාපා ඇති විශේෂිත ප්‍රශ්නයක් ද වෙයි. එනම් දොරකඩටම යුද ගිනියම පැමිණීමය. අපට කිසිසේත් මෙය මඟහැර යා නොහැකිය. දැනුදු එය විසඳී නොමැත. තවමත් අප ඉන්නේ ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වැනි අවිනිශ්චිත තත්ත්වයකය.
මෙම යුද ගැටුමේ එක් ප්‍රධාන පාර්ශවයක,තරුණ කණ්ඩායමක් සිටිනුයේ අපේ රටේය. මෙම ඉරාන ජාතික පිරිස එකසිය ගණනකි. ගාල්ල ආසන්නයේ ගිල් වූ නැවේ තිස් ගණනක්ද, කොළඹ ට ආසන්න යේ දී කාර්මික දෝෂයකට බඳුන් වූවායැයි කියන නැවේ එකසිය ගණනක්ද මෙම පිරිසට අයත්ය. මේ අයට කන්න මොනව හරි දීල වැටිල ඉන්න තැනක් පිළියෙළ කර දීම රටකට ප්‍රශ්නයක් නොවෙයි. කෙතරම් අඟහිඟකම් තිබුණත් අපේ රටටද මේ අය මාස ගණනක් නොව අවුරුද්දක් වුණත් රැක බලා ගැනීමට පුළුවන.
නමුත් ප්‍රශ්නය ඇත්තේ එතන නොව ඔවුන් රට තුළ තබා ගැනීම, ඔවුන් පැමිණි ඉරාන නෞකාව ත්‍රිකුණාමල වරායේ නැංගූරම්ලා තබා ගැනීම කුමනාකාරයෙන් රටට බලපාවිද යන්න ය.
මෙය හිතන තරම් සැහැල්ලුවට ගතයුතු ප්‍රශ්නයකැයි මට නම් හිතෙන්නේ නැත. යුද වාතාවරණය දවසින් දවස අධිවේගයෙන් වෙනස් වන නිසා ඉහත කී සිද්ධිය දැන් දැන් අපේ ප්‍රධාන මාතෘකාවලින් පිට පැන ඇති බවක් පෙන්නුම් කළද ත්‍රිකුණාමලයේ නංගූරම්ලා ඇති යුද නැව හා අපේ නාවික හමුදාව භාරයේ සිටින සිද්ධියට බඳුන් වූ අවසාන ඉරාන ජාතිකයාත් නිරුපද්‍රිතව රටින් පිට කරන තුරු අපට සම්පූර්ණයෙන් මෙම සිද්ධියෙන් ගැලවිය නොහැක .
ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු මෑත දී මේ ගැන කළ ප්‍රකාශය කිසිදු තර්ක කිරීමකින් තොරව පිළිගන්නේ නම් අපට මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් පැන නැගීමේ ඉඩක් නැත. නමුත් ඇමරිකාවේ මෑත ක්‍රියා කලාපය දෙස බලන විට ඔවුන්ගේ වචන සුන්දර තරමට ක්‍රියාව සුන්දර නැත.
ඔවුන් පහර දුන්නේ අවි ආයුද රැගත් සෙබළ ඛණ්ඩයකට නොවේ. යුද අභ්‍යාස පුහුණුවකට ගිය කැඩට් භට පිරිසකටය. කිසිසේත්ම ඔවුන් මේ ගැන නොදැන සිටියා නොවේ. පලවා හැරියාත් නොව සබ්මැරීන මාර්ගයෙන් දරුණු ප්‍රහාරයකට ලක් කිරීමය සිදු වූයේ. පෙන්නන තරම් රාජ්‍ය තාන්ත්‍රික ආචාරශීලිත්වයක් ඇමරිකාව සතුව නැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වනුයේ හැරෙන තැපෑලෙනි. ස්පාඤ්ඤ රජ්‍ය නායකයා ගේ කට වැරදීමකට ස්පාඤ්ඤ සමග වෙළඳ සබඳකම් නතර කරන බවට තර්ජනය කළේය. රාජ්‍ය නායකයකුට වඩා මට නම් ඔහු පෙනෙනුයේ සිත්පිත් නැති පොලී මුදලාලි කෙනකු ලෙසය. ට්‍රම්ප් ජනාධිපතිවරයාට බලවත් ජාතියක්ද ,ආසියාතික ද බටහිරද යන්න අදාළ නැත.
ඛනිජ සම්පත් ඇත්නම් ට්‍රම්ප් ඇස එතැනය. වාසනාවකට අප සතුව එවැනි සම්පත් නැත. මැණික් සම්පත වුණත් සීමාසහිත වාසනා ගුණයක් ඇති සම්පතකි. ඇමරිකාවේ මෝඩගල් හදනවා නම් ඕනෑ තරම් මැටි නම් අපේ රටෙන් ගෙන යා හැකිය.
කෙසේ වුවත් මෙම ඉරාන ජාතිකයන් පිරිස හා යුද නැව ගෙනියන දිනයක් හෝ ක්‍රමයක් තවම නිශ්චිත නැත. ඉන්දියාව ද මෙම ප්‍රශ්නය ට මුහුණ පා ඇති අතර ඉන්දියාව ඇතමකුගේ චෝදනාවටද ලක්ව සිටී. නමුත් මට නම් හිතෙනුයේ ඉන්දියාව කියන එකක් තමයි කියාය. සාධාරණ අසාධාරණ යන්නට මෙන්ම අප වගේ කුඩාරටකට යථාර්ථයටද පිටු පෑමට නො හැකිය.
මේ ආඛ්‍යානයේ ඇතැම් තැන් තවම නොපැහැදිලිය. ගාල්ල ආසන්නයේ විපතට පත් නැවට පහර දෙනබවට ඉඟියක් තිබුණේද? ඔවුන් අපේ වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියාද? ඊට අදාළ රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් පවතිද්දී ද මෙම පහර දීම සිදු වූයේ. මේ ගැන ඉරාන බලධාරීන් සිටිනුයේ කනස්සල්ලෙන් ද?
එමෙන්ම ගාල්ලට කිට්ටු මුහුදේ ප්‍රහාරයට ලක්වූ නැව, කොළඹ කිට්ටුව තිබුණු නැව හා ඉන්දියාවේ වරායක නැංගූරම්ලා ඇති නැව යන තුනටම කාර්මික දෝෂයක් එක විටම හෝ ආසන්න කාල පරාසයක් තුළ සිදුවීම තරමක් පුදුම සහගතය.
කෙසේ වුවත් අප මින් තවමත් සම්පූර්ණයෙන් ගැලවී නැත .

