දඬුබස්නාමානය ටෙලි නාට්‍යයේ එන මුලු මහත් සිදුවීම් මාළාවටම හේතුව වන්නේ මඩප්පුවාය.
මඩප්පුවා දඬුබස්නාමානයේ සිටින වැදගත්ම චරිතයයි. ඔහු නොවන්නට දඬුබස්නාමානයක් නැත. කතාව තුල මඩප්පුවා ආරච්චි වලව්වේ සේවකයෙකු ලෙස සලකුණු කර තිබුනද සැබෑ තත්වය එය නොවේ. සැබෑවටම සිදුවන්නේ මඩප්පුවා විසින් තම පුද්ගලික අරමුණක් ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් ආරච්චිව සේවයේ යොදවා ගැනීමයි. සැබෑ සේවකයා වන්නේ ආරච්චි මිස මඩප්පුවා නොවේ. (මඩප්පුවා මිය යන්නේද තමන්ගේ වැඩේ කරන්නට ගොස් මිස ආරච්චිට දෙන්නට ගොස් නොවේ)
ආරච්චි මේ තත්වය වටහා ගන්නට ඔන්න මෙන්න වන සෑම විටෙකම මඩප්පුවා අගනා තුරුම්පුවක් ප්ලේ කරයි. එනම් ඔහු තමන් ආරච්චි වලව්වේ බත්බැලයෙකු බව නොනවත්වා කියාගනී. තමාව ඩිග්‍රේඩ් කරගනිමින් ආරච්චිව ලොකු කර පෙන්වයි.
අපට ආණ්ඩුවල බත්බැලයන් ලෙස පෙනෙන බොහොමයක් දෙනාද මේ මඩප්පුවා වැනි ගේම්කාරයන්ය. ඔවුන්ට ඉතා පැහැදිලි පුද්ගලික අරමුණු ඇත. ඡන්දය ඉල්ලීම, දේශපාලන බලයෙන් ව්‍යාපාර පටන් ගැනීම, සංස්ථාවක සභාපති ධූරයක් ගැනීම ආදී අනේක විධ අරමුණු ඔවුන්ට ඇත. මේ මඩප්පුවන් රාජපක්ෂ වන්දනාවේ යෙදෙන ඇමතිවරුන්ගේ සිට රජයේ තනතුරු ලබාගන්නට මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටිමින් ගේම් ගසන්නන් දක්වා විහිදී පවතී.
ලංකාවේ ආරච්චිලා දඬුබස්නාමානයේ ආරච්චිගෙන් වෙනස් වන්නේ මෙතැනිනි. දඬුබස්නාමානයේ ආරච්චි දුෂ්ඨයෙකු වුවත් අපතයෙකු නොවේ. ලංකාවේ ආරච්චිලා අපතයන්ය. සැබෑ ලෙසම ඔවුන්ද මඩප්පුවන්ය. ආරච්චිලා බවට පත්වූ මඩප්පුවන්ය. පට්ටමට යටින් සිටින්නේ මඩප්පුවෙකි. ලංකාවේ දේශපාලන අධිකාරියේ ඉහළ තැන් වල සිටින්නන් මෙලෙස ජීවිතයේ කෙදිනක හෝ මඩප්පුවන් ලෙස ගේම් ගසා බලයට පැමිණි උන්ය. එබැවින් තමාට පහලින් සිටින මඩප්පුවන්ගේ ගේම් එකද ඔවුන් දනී.
එබැවින් මෙහි ආරච්චිලා රැවටෙන්නේ නැත. ගේම් එක ප්ලේ වෙන්නේ එලිපිටය. ඔවුන් නිරන්තරයෙන් මඩප්පුවන්ගේ අවශ්‍යතා සොයා බලා ඒවාට පිළියම් යොදයි. මඩප්පුවන්ගේ ගේමට උදව් නොකරන විටෙක තමන්ගේ ගේම වැරදී යන බව ඔවුන් දනී.
ජෙනුයින් බත්බැලයා වන්නේ මේ එළිපිට පෙනෙන දෙය තේරුම් නොගෙන ආරච්චිලාට සේවය කිරීම තම ඉරණම ලෙස බාරගත්තවුන්ය.
දඬුබස්නාමානයේ ආරච්චිට දෙන්නට ගොස් ගුරා අතින් නිළ අඹරවාගෙන උන්මන්තකභාවයට පත්ව “තැඹිලි බීපියව්” කියමින් ඔල්මාද දොඩවන චොලෝ සිංඥෝ යනු එවැනි ජෙනුයින් බත්බැලයෙකි.
බොහෝවිට ජෙනුයින් බත්බැලයන්ට උරුම වන්නේ චොලෝ සිංඥෝගේ ඉරණමයි ….
~ මුදිත ජයසූරිය
RN