අසූ ගනන්වල අපි ජ.වි.පෙ. දේශපාලනය කරන කාලේ අපෙ ගොඩක් ෆුල්ටයිම් වැඩකරපු අය අත්අඩංගුවට පත් උනේ ලඟ තබාගෙන සිටි වැඩ කොලෙයි, අයවැය කොලෙයි නිසා. මොකද හමුදා බුද්ධි අංශ දැනගෙන හිටියා ෆුල්ටයිමර් කෙනෙක් නම් වැඩ කොලෙයි අයවැය කොලෙයි ළඟ තියන් ඉන්න බව.
වැඩ කොලේ කියන්නේ ඉදිරි සතියේ කරන්ට තියෙන සංවිධාන වැඩ ටික සංඛේත වලින් සටහන් කර තිබුන අඟලක් පළල අඟල් හතරක් විතර දිග හතරට පහට නමපු පොඩි කඩදාසියක්..
අයවැය කොලේ කියන්නෙ පක්ෂෙට සම්බන්ද කවුරු හරි කෙනෙක් අපෙ එදිනෙදා වියඳමට් දෙන රුපියල් තිහ හතලිහක් ගැන සඳහන් කරපු සහ ඒ තිහ හතලිහ වියදම් කරපු හැටි සටහන් කරපු අර තරමෙම කුඩා කඩදාසියක්..
අපි යන යන තැන මේ කඩදාසි ටික කමිස වාටියේ හරි සපත්තු අඩියේ හරි කොහේ හරි හංගගෙන අරන් යනවා
ඒ කාලෙ පක්ෂෙ සාමාජිකයො වෙලා හිටපු දුප්පත් මිනිස්සුන්ටත් අපිට දුන්න කෑම වේලකට අමතරව අපිව නඩත්තු කරන්ට රුපියල් තිහ හතලියකට වඩා දෙන්ට පුලුවන් කමක් තිබ්බෙත් නෑ..
පස්සෙ කාලෙත් පක්ෂෙට සල්ලි හොයන්න පක්ෂෙ පහල සාමාජිකයො කුළියට ගොයම් කැපුවා, එහෙම කරන්න ගිහින් සමහරක්ගෙ පොළොන්ගුත් කෑවා. පක්ෂෙට සල්ලි හොයන්න කට්ට අවුවෙ කැට හෙල්ලුවා, කුළියට වැලි ගොඩ දැම්මා.. මේවා කරන්න ගිහින් කීපදෙනෙක් මී උන හැදිලා මැරුනා.. ඔහොම තමා පක්ෂෙ ජීවිතේ..
ඔහොම ගිනින් ගිහින් අන්තිමේදී ස්වකීය සගයන්ගේ මළකඳන් දාස් ගානකුත් පහුකරගෙන ඇවිත් යුග යුග ගනනාවක් පුලපුලා බලා සිටි රාජ්‍ය බලයත් ලැබුනා.
එහෙම හම්බවෙලා අවුරුදු එකහමාරක් යනකොට හිල් ජොක්කු ඇඳන් හිටපු සගයන්ට V8 ලැබුනා.. ගෙයක් නැතිව සදාකාලිකව මාදිවෙල හුන්ඩුවේ ලැගලා හිටපු සගයන් හෙණ ලස්සන ගෙවල් හදාගත්තා.. හැබැයි ජනතාව හිටියා වගේම, සමහර විට ඊටත් වඩා දුප්පත්..
ඕං ඔහොම තමා ඉතිහාසය. අන්න ඒක තමා මම කියන්නේ මෙතෙක් ලෝකයේ බිහිවූ කැතම ප්‍රෝඩාව දේශපාලනය කියලා..
අන්තිමේදි පක්ෂවල පහල ස්‍ථරයයි රටේ පොඩි මිනිස්සුයි සුපුරුදු විදියට රැවටෙනවා. ඕක තමා සංසාර චක්කරේ ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ




