ලොකු ගෙවල්වල ඉන්න පුංචි මිනිස්සු …!

88 – 89 කාලයේ ගම් වලින් රැල්ලට ජ.වි.පෙ. දේශපාලනයට ආපු ගොඩක් අය ආර්ථික වශයෙන් සහ සමාජ පිලිගැනීම පැත්තෙන් සමාජයෙන් පිටමං කරපු මිනිස්සු කොටසක්.. මේ අයගෙන් ඇතමෙක් ලියන්නට කියවගන්ටවත් බැරි තත්වයක හිටියෙ.

මේ අය ජ.වි.පෙ.ට ආවෙත් බොහෝවිට ඒ අයට නොලැබුන සමාජ පිලිගැනීම ගමේ ජේ.වී.පී. කාරයෙක් වීම තුලින් ලබාගන්න. මොකද මේ කාලේ ජ.වි.පෙ.ට මිනිස්සු කිව්වෙ ගමේ පුංචි ආන්ඩුව කියලා. ඒනිසා ජේ.වී.පී. කාරයෙක් කිව්වම ගොඩක් මිනිස්සු බයයි. සහ ජ.වි.පෙ. න් පනවන ඇඳිරි නීතියක් ගැන හාවක් හූවක් යන වෙලාවල් වලදි ඒක ගමේ කඩපිලේ මිනිස්සු කල්තියා දැනගන්නෙ මේ අයගෙන් අහලා.. මේ අයත් ඇඟට අරන් ඇඳිරිනීතිය ගැන කියල දීලා පොර වෙනවා..

ඉතින් මේ පසුබිම තුල මේ ජේ.වී.පී. සෙට් එක අදාල සමාජ පිලිගැනීම වෙනුවෙන් හැකිතාක් තමන් ජේ.වී.පී කාරයෙක් බව එලියේ සමාජයට අඟවන්න උත්සාහ කරනවා. පක්ෂයේ වගකිවයුතු ඉහල සාමාජිකයො මැදිහත් වෙලා එළියට ලීක් වෙන්ට එපා, ප්‍රසිද්දියේ වැඩකරන්ට එපා කියලා මේ අයට කොච්චර අනතුර පෙන්නලා දුන්නත් වැඩක් උන්නෑ.. මොකද මේ අයට ඕනම ප්‍රසිද්ද වෙන්ට.. මේ මෝඩ ප්‍රසිද්ද වීම නිසාම මේ අය බොහොම පහසුවෙන් අත් අඩංගුවට පත්වෙලා මර්ධනය අස්සෙ මැරිලා ගියා..

පහුගිය කාලේ ප්‍රචන්ඩ ලෙස හැසුරුනු මිනිස්සු ගිනි තියපු දේශපාලකයන්ගෙ ගෙවල් තට්ටු තුන හතරේ ඒවා බව ලාල් නොදන්නවා වෙන්ට බෑ.. ඕනම මොහොතක මිනිස්සුන්ට කන්ට බොන්ට නැති උනාම කෝපය හැරෙන්නෙ බලය හොබවන දේශපාලකයා වෙත බව නොදැනගන්ට තරම් බබෙකුත් නෙමේ ලාල්.. ඒවගේම මේ මන්දිර ප්‍රසිද්දියට පත්වීම ජ.වි.පෙ.ට දේශපාලන වශයෙන් පට්ට අවාසි බවත් ලාල් දන්නවා.

එහෙනම් ප්‍රශ්නෙ මොකක්ද ?

අර 88 – 89 ගමේ පහල මට්ටමේ හිටපු ජේ.වි.පී. කාරයගෙ ප්‍රශ්නෙම තමා දැන් ලාල්ට තියෙන්නෙත්.. වන්නියෙ කලැත්තෑවේ යෝගට් වක්කර වක්කර හිටපු ලාල්ට දැන් ඕන තමන් කොළඹ පොෂ් ධනපති දේශපාලකයෙක් බව රටට අඟවන්ට.. මේවා හිස්ටරික ගැටලු… ලාල්ගෙ විතරක් නෙමේ හෙට අනිද්දට අනික් සමාජවාදීන්ගෙ මන්දිරවලත් ෆොටෝ පෝලිමට එළිබහියි ඕං…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ