සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(08)දිනයේදී ඊශ්‍රායලය විසින් ඉරානයට පක්ෂව කටයුතු කරන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ හමුදා ස්ථාන 100ක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දැවැන්ත ගුවන් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 254 දෙනෙකු මිය ගොස් 837 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙය ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ලද දැවැන්තම ගුවන් ප්‍රහාරය වශයෙන් සැලකෙන අතර මෙම ප්‍රහාරය හේතුවෙන් ඉරානය- එක්සත් ජනපදය සමඟ එකඟ වූ සටන් විරාමය එක රැයකින් ඉවත් විය හැකි බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන් අනතුරු ඇඟවා තිබේ.
මැදපෙරදිග සති දෙකක සටන් විරාමයට ලෙබනනය ඇතුළත් නොවූ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කර ඇති අතර සටන් විරාමයේ මැදිහත්කරු වන පකිස්ථානයේ යෝජනාවන්ට ට්‍රම්ප් මුලින් නිහඬව සිටීමෙන් පසු, ලෙබනනය අතර පවතින්ණේ වෙනම ගැටුමක් බවත්, ගිවිසුමේ කොටසක් නොවන බවත් ප්‍රකාශ කර ඇත.
ලෙබනනයේ සති පහක් පුරා පවතින යුද්ධය රට බිඳවැටීමේ ස්ථානයකට ගෙනැවිත් ඇති අතර මේ හේතුවෙන් මිලියන 1.1 කට වැඩි පිරිසක් අවතැන්ව ඇත. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 1,530 කට වැඩි පිරිසක් මිය ගොස් 4,812 දෙනෙකු තුවාල ලබා තිබේ.



