වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි – මැයි දින පණිවිඩය නිකුත් කරමින් අගමැතිනිය පවසයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බව ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කරයි.

සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණක් වන අතර ඒ අනුව සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම වර්තමාන රජයේ මූලික අරමුණක් බවද ඇය කියා සිටියි.

වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම අප රජයේ අරමුණ බවද දක්වා ඇත.

සියලු ශ්‍රමයන් අගය කරන අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී යළිත් තහවුරු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය නිකුත්කල කම්කරු දින පනිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අගමැතිනියගේ සම්පූර්ණ කම්කරු දින පණිවුඩය පහතින්,

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනයේ සිට මෙරට වැඩකරන ජනතාව සංවිධානාත්මක බලවේගයක් ලෙස නැගී සිටි අතර, ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් ඇරඹි වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සමසමාජ පක්ෂයේ ආරම්භයත් සමඟ කම්කරු හඬ දේශපාලනමය වශයෙන් සවිමත් විය.

1923 දුම්රිය වැඩවර්ජනය සහ 1947 රාජ්‍ය සේවා වැඩවර්ජනය වැනි තීරණාත්මක සන්ධිස්ථාන මගින් තහවුරු කළේ, මෙරට ආර්ථික හා සමාජීය පෙරළියක “නියමුවා” වැඩකරන ජනතාව බවයි.

එදා මෙදා තුර වතු ක්ෂේත්‍රයේ, වරාය, දුම්රිය ඇතුළු සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් දැක්වූ දායකත්වය අද අප භුක්ති විඳින බොහෝ වෘත්තීය අයිතිවාසිකම්වල පදනම බව ගෞරවයෙන් සිහිපත් කරමි.

1886 වසරේ චිකාගෝ නුවරදී පැය අටක වැඩ මුරයක් වෙනුවෙන් කළ අරගලයේදී දිවි පිදූ වීරෝදාර කම්කරු ජනතාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත වැඩකරන ජනතාවට උපහාර පුද කරමින්, මෙවරත් ජාත්‍යන්තර කම්කරු දිනය අපි අභිමානයෙන් යුතුව සමරන්නෙමු.

මෙවර මැයි දිනය සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලාංකේය සමස්ත වැඩකරන ප්‍රජාවට ගෞරවයක් පිණිස මහජන බලයෙන් ගොඩනැගුණු රජයක් යටතේ සැමරීම හේතුවෙනි.

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අප රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමකි.

ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.

සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණකි.

ඒ අනුව, සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි.

වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම අප රජයේ ප්‍රමුඛතම කාර්යයන් අතර වේ.

සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී අප යළිත් තහවුරු කළ යුතුය.

සියලු වැඩකරන ජනතාවගේ ශක්තිය හා කැපවීම තුළින්, අප සැමගේ පොදු දැක්ම වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ඉලක්කය ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරමි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...