කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම මත ශ්රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වෙලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්රකාශ ලබා දී තිබුණ අතර ඒ අවස්ථාවේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළේය.
2013 වසරේදී ශ්රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්රීලන්කන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ලවිය.
සිද්ධියට අදාළව මාස 2කට වැඩි කාලයක් කපිල චන්ද්රසේන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඔහු ඇප ලබා නිදහස් වුවද ඇපකරුවන් සම්බන්ධයෙන් මතුවූ ප්රශ්නකාරී තත්ත්වය මත ඔහුගේ ඇප අවලංගු කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කරන ලදී.
එම පසුබිම මත ඔහු අධිකරණයට භාරවීමට සිටියදී සියදිවි නසා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් විය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කපිල චන්ද්රසේන විසින් ලබා දී ඇති ප්රකාශයකට අනුව ප්රස්තුත එයාර් බස් ගණුදෙනුවේදී අල්ලස් ලෙස ලැබුණු මුදල්වලින් රු. මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දී ඇති අතර ඒ අනුව එකී සිද්ධිය ගැන ප්රකාශයක් ලබා ගැනීම සඳහා රාජපක්ෂ මහතාව අද අල්ලස් කොමිසමට කැඳවා තිබේ.
කෙසේවෙතත් අල්ලස් කොමිසමේ බලධාරීන් තර්ජනය කොට බලහත්කාරයෙන් අදාළ ප්රකාශය ලබාගත් බව දන්වමින් කපිල චන්ද්රෙස්න මහතා යොමුකළ දිවුරුම් ප්රකාශයක් ඔහුගේ නීතීඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


