වාහන සඳහා රේගු ආනයන බද්ද මැයි 16 වනදා සිට 50%කින් ඉහළ නැංවූ අතර, ඊට පෙර දිනයේ (මැයි 15 වනදා) වාහන 1782ක් ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කර තිබීම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විපක්ෂයේ දේශපාලනඥයින් විසින් ප්රශ්න කර තිබිණි.
එහිදී ඔවුන් චෝදනා කළේ අභ්යන්තර තොරතුරු කාන්දුවීමක් හේතුවෙන් මෙසේ ප්රධාන පෙළේ සමාගම් කිහිපයක් වාහන විශාල ප්රමාණයක් සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවටත් ඔවුන් ඒ හරහා අයුතු ලාබයක් ලබාගැනීමට නියමිත බවටත් ය.
කෙසේවෙතත් මුදල් අමාත්යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ බදු සංශෝධනය සිදුකළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අතිරේක ඡේදයක් එකතු කර ඇති අතර එයින් නියම කර ඇත්තේ මැයි 15 වන දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළත් ඒවායේ වාහන සංඛ්යාව, වාහන හඳුනාගැනීමේ අංකය, වාහනයේ විස්තරය සහ වාහනයේ තාක්ෂණික පිරිවිතරයන් යන කරුණුවලින් එකක් හෝ සංශෝධනය කරන්නේ නම් එම වාහන සඳහා ඉහත කී ගැසට් නිව්දනයේ සඳහන් 50%ක අධිභාරය අයකළ යුතු බවයි.
තොග වශයෙන් වාහන ආනයනය කරන සමාගම් ණයවර ලිපි විවෘත කරන්නේ වාහනවල එංජින් අංක, චැසි අංක සඳහන් කරමින් නොවේ. ඔවුන්ට වාහන නිෂ්පාදකයින්ගෙන් ඒ තොරතුරු ලැබෙන්නේ යම් කාලයකට පසුව ය. එහෙත් අදාළ ණයවර ලිපි බලාත්මක වන්නේ එකී අංක ඇතුළත් කිරීමෙන් පසුව ය. ඒ අනුව තොග වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළ සමාගම් සියල්ලම ඉහත බද්දට යටත් වනු ඇති බවයි රේගු ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –


