ශ්‍රී ලාංකිකයන්ට PayPal පහසුකම ඍජුවම ලබාදීමට සම්පත් බැංකුව පෙරමුණ ගනියි

මැයි 26, කොළඹ (LNW): ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, පේපෑල් (PayPal) ගිණුම් හරහා මුදල් ලබාගැනීමේ සහ ගිණුම් සම්බන්ධ කිරීමේ ඒකාබද්ධ පහසුකම මෙරටට හඳුන්වා දුන් ප්‍රථම බැංකුව බවට සම්පත් බැංකුව (Sampath Bank PLC) පත්ව තිබේ. 

මෙම නව පහසුකම ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa) ඩිජිටල් බැංකුකරණ පද්ධතිය හරහා ක්‍රියාත්මක වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ස්වාධීන වෘත්තිකයන් (Freelancers), ව්‍යවසායකයන්, අන්තර්ජාල ව්‍යාපාරිකයන් සහ විදේශීය ආයතන සමඟ සම්බන්ධ වී දුරස්ථව සේවය කරන පිරිස (Remote workers) සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වූ ආරක්ෂිත සහ විශ්වාසදායක ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමවේදයක අවශ්‍යතාවයට පිළිතුරක් ලෙස සම්පත් බැංකුව සහ PayPal ආයතනය එක්ව මෙම පියවර ගෙන ඇත. 

මෙය මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටට විදේශ විනිමය ගලා ඒමට ද විශාල රුකුලක් වනු ඇත.

මෙම සුවිශේෂී සේවාව පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කලමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය:

“ඩිජිටල් තාක්ෂණයේ සීමාවන් නිසා ශ්‍රී ලාංකීය දක්ෂයන්ට ගෝලීය ආර්ථිකයට දායක වීමට ඇති අවස්ථාව අහිමි නොවිය යුතුයි. PayPal සමඟ අප ඇති කරගත් මෙම සහයෝගීතාවය, අපගේ පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ වඩාත් විශ්වාසයෙන් සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක්.”

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ PayPal ආයතනයේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී අමීර් වල්ලියානි (Amir Valliani) මහතා සඳහන් කළේ, මෙමඟින් ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට සහ නවක ව්‍යාපාරවලට (Start-ups) ගෝලීය අවස්ථාවන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමටත්, තමන් උපයන මුදල් ඉතා විශ්වාසදායක ලෙස ලබාගැනීමටත් මින් ඉදිරියට අවස්ථාව සැලසෙන බවයි.

මෙමඟින් පාරිභෝගිකයාට ලැබෙන පහසුකම්:

  • ඍජු මුදල් හුවමාරුව: පාරිභෝගිකයන්ට තමන්ගේ PayPal ගිණුම සම්පත් විශ්ව (Sampath Vishwa) ජංගම දුරකථන යෙදවුම (App) වෙත සම්බන්ධ කර, එහි ඇති මුදල් ඍජුවම තමන්ගේ සම්පත් බැංකු ගිණුමට ශ්‍රී ලංකා රුපියල් (LKR) හෝ ඇමරිකානු ඩොලර් (USD) මඟින් බැර කරගත හැක.
  • නව ගිණුම් ඇරඹීම: මෙතෙක් PayPal ගිණුමක් නොමැති අයෙකුට වුවද, සම්පත් විශ්ව පද්ධතිය හරහාම ඉතා සරලව අලුතින් PayPal ගිණුමක් ආරම්භ කිරීමේ පහසුකම සලසා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රීති සහ ජාත්‍යන්තර මූල්‍ය ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව, අති නවීන ඩිජිටල් යටිතල පහසුකම් භාවිත කරමින් මෙම සේවාව නිර්මාණය කර ඇත. “We Present Your Future” (අපි ඔබගේ අනාගතය ඉදිරිපත් කරමු) යන සිය සන්නාම ප්‍රතිඥාවට අනුව යමින්, සම්පත් බැංකුව මෙරට පාරිභෝගිකයන් බලගැන්වීම වෙනුවෙන් තවදුරටත් මෙවැනි නවෝත්පාදන හඳුන්වා දීමට කැපවී සිටියි.

ඡායාරූපය: PayPal උප සභාපති සහ සාමාන්‍යාධිකාරී අමීර් වල්ලියානි, සම්පත් බැංකුවේ කලමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන සම්පත් විශ්ව ඔස්සේ PayPal හඳුන්වාදීමේ උත්සවයට සහභාගී වෙමින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...