ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ රුපියල් මිලියන 3.2කට අධික මූල්‍ය වංචාවක් පිළිබඳව බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
භාණ්ඩ සැපයීමේ ටෙන්ඩරයක් ලබාදෙන බව පවසා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය තුළදීම තමන්ගෙන් මුදල් වංචා කළ බව අදාළ ව්‍යාපාරිකයා චෝදනා කරයි.
මෙහිදී නිලධාරීන්ගේ පෞද්ගලික ගිණුම්වලට සහ මුදල් අංශයට අවස්ථා කිහිපයකදී මුදල් ගෙවා ඇති නමුත්, එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ගත් උත්සාහයන් වරාය බලධාරීන් විසින් මගහැර තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකක කිහිපයක්ම මෙම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයා විසින් විධිමත් විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසම වෙත ගොස් ඇත.
වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, යුක්තිය ඉටුකර දෙන ලෙසත් ඉල්ලමින් ඔහු ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.



