සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා නව රෙගුලාසි හඳුන්වාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 ජුනි 19 වනදා සිට ක්රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතු අතර එම ගනුදෙනු සම්බන්ධ සියලු තොරතුරු ශ්රී ලංකා රේගුව වෙත දැනුම් දීමද අනිවාර්ය කර තිබේ.
එහිදී ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතු බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
එමෙන්ම, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබේ.




