විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමක් ගැන BASL මතය නීතිඥවරයෙකු විමසයි

යම් හෙයකින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ ද, එයට සමගාමීව පහළ අධිකරණවල විනිසුරුවන්ගේ ද සමස්තයක් ලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළහොත් එමගින් අධිකරණයට අයුතු බලපෑමක් සිදුවන බවට පූර්ව නිගමනය කිරීමට බලපෑ කරුණු මොනවාද යන්න නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්, සහාධිපත්‍ය උපදේශක කපිල ගමගේ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විමසා තිබේ.

සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා වෙත ඊයේ (05) දිනයේදී ලිපියක් යොමුකරමින් ඔහු ඒ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්, සහාධිපත්‍ය උපදේශක කපිල ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසූරිය මහතා වෙත යවා ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.


කපිල ගමගේ,
නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්, සහාධිපත්‍ය උපදේශක
24A, දෙවන පටුමග, පෙතියාගොඩ, කැළණිය, ශ්‍රී ලංකාව

නීතිඥ රජිව් අමරසූරිය,
සභාපති,
ශ්‍රී ලංකා නීතිඥ සංගමය,
කොළඹ 12.
2026.07.05
මහත්මයාණනි,

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙනි

මම වෘත්තීයෙන් නීතිඥවරයෙකු වන අතර, ඔබ සභාපති ධුරය දරණ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වෙමි.

පසුගිය 4 වන දින ඔබ සංගමය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පවතින යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මහජන කතිකාවක් පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් මා තුළ පැන නැගුණු කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීම සඳහා මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ මාගේ දැනුමට අනුව අධිකරණයේ ස්වාධීනත්වය යන සංකල්පය සාකච්ඡා කිරීමේ දී, විනිසුරුවරුන්ගේ ධුර කාලය සමස්තයක් ලෙස දීර්ඝ කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අධිකරණයේ ස්වාධීනත්වයට හානිදායක වන බව සඳහන්ව නොමැත.

විශේෂයෙන්ම, මෙම අවස්ථාවේ දී විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ඔබ සංගමය විසින් ජනාධිපතිවරයා අමතා යවන ලද 2026.05.26 දිනැති ලිපිය මගින් ද, වෙනත් දෑ අතර, සඳහන් කර ඇත්තේ, විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක් ලෙස අර්ථ ගැන්වනු ඇති බවයි.

මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පක්ෂව ද ඇතැම් නීතිඥවරුන් කරුණු දක්වමින් සිටින බව ප්‍රසිද්ධ මාධ්‍යයන්හි පළවෙන පුවත් අනුව පෙනී යන අතර, එහි දී ඔවුන් වෙනත් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් නිදර්ශන ද සහිතව කරුණු දක්වන ආකාරය පෙනී යයි.

නීතිඥවරයෙකු ලෙස කරුණු පැහැදිලි කර ගැනීමේ අරමුණෙන් මා කාරුණිකව ඔබගෙන් විමසා සිටින්නේ, යම් හෙයකින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ ද, එයට සමගාමීව පහළ අධිකරණවල විනිසුරුවන්ගේ ද සමස්තයක් ලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළහොත් එමගින් අධිකරණයට අයුතු බලපෑමක් සිදුවන බවට ඔබ සංගමය විසින් පූර්ව නිගමනය කිරීමට බලපෑ කරුණු කවරේද යන්නයි.

තවද, එලෙස සමස්ත අධිකරණ නිලධාරීන් සියල්ලන්ගේම විශ්‍රාම වයස දීර්ඝ වීමක දී කිසිදු විශේෂිත විනිසුරුවරයෙකුට අගවිනිසුරු ධුරයට පත්වීමට පවතින ඉඩ කඩ අහිමි වීමක් සිදු නොවන බව බැලු බැල්මට පෙනී යන කරුණකි.

එසේ වේ නම්, ඔබගේ නායකත්වය යටතේ නීතිඥ සංගමය විසින් මෙලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධ වීමට සැබෑ හේතුව සියළු විනිසුරුවරුන් සමඟ වර්තමාන අගවිනිසුරුතුමන්ගේ ද ධුර කාලය දීර්ඝ වීම සිදුවීම ද යන්න මා හට පැහැදිලි කරගත යුතුව ඇත.

එසේ වේ නම්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධ වීමට නීතිඥ සංගමයට පවතින සැබෑ හේතුව, වර්තමාන අගවිනිසුරුතුමන් තවදුරටත් ධුරය දැරීමට නීතිඥ සංගමයේ නායකත්වය දක්වන විරෝධයක් බවට අප්‍රකාශිත හේතුවක් පවතින්නේ ද යන්න මධ්‍යස්ථව කරුණු විචාරය කර බැලීමේ දී මා හට හැඟී යන කරුණකි.

වර්තමානයේ අධිකරණවල නඩු වීමසීමේ ප්‍රමාදයට පිළියම් ලෙස අගවිනිසුරුතුමන් සභාපතිත්වය දරණ අධිකරණ සේවා කොමිසම විසින් සාධනීය පියවර ගණනාවක් ගෙන ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ කඩිනමින් නඩු විභාග කොට අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ඉහළ නැංවීමට කටයුතු කිරීමේ දී නීතිඥවරුන් එයට විරුද්ධ පාර්ශවයක් ලෙස මහජනයා ඉදිරියේ චිත්‍රණය වීමට ඔබ සංගමය ඉඩ හැරීම නීතිඥවරයෙකු ලෙස මා හට ඉතා සංවේගයක් ඇති කරන කරුණක් වී ඇත.

යම් හෙයකින් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ඔබ හෝ ඔබ සංගමය විරෝධයක් දක්වන්නේ නම්, එයට විෂය මූලික සහ වාස්තවික හේතුවක් පැවැතිය යුතු වන අතර, එසේ නොමැතිව දුරදිග නොබලා ඒ ඒ අවස්ථාවන්හි ජනමාධ්‍යයන් මෙග් ද විවිධ දේශපානඥයින්ගේ ද අවධානය දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කිරීම සමස්ත නීතිඥ ප්‍රජාවටම අගතිදායක වන බව මාගේ හැඟීමයි.

මින් පෙර ඔබ සංගමය විසින් ජනාධිපතිවරයා අමතා යවන ලද ලිපි ද ජනමාධ්‍ය මගින් ඔබ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති නිසා මෙම ලිපිය ද මා විසින් මාධ්‍ය ආයතන වෙතද යොමු කරන බව කාරුණිකව දන්වා සිටිමි.

මෙයට,
විශ්වාසී,
කපිල ගමගේ
නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්, සහාධිපත්‍ය උපදේශක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...