සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):බ්රිතාන්යයේ පාලක කම්කරු පක්ෂයේ (Labour Party) නව නායකයා ලෙස ඇන්ඩි බර්න්හැම් ඊයේ(17) දිනයේදී නිල වශයෙන් තේරී පත් විය.
ග්රේටර් මැන්චෙස්ටර් හි හිටපු නගරාධිපතිවරයා වන 56 හැවිරිදි බර්න්හැම්, කම්කරු පක්ෂයේ විශේෂ සමුළුවේදී නායකත්වය භාර ගනිමින් ඉදිරි දිනවලදී අග්රාමාත්ය ධුරයද භාර ගැනීමට නියමිතය.
“උතුරේ රජු” (King of the North) ලෙස ප්රචලිත බර්න්හැම්, ග්රේටර් මැන්චෙස්ටර් ප්රදේශයේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් දැක්වූ දැඩි කැපවීම හේතුවෙන් එම අන්වර්ථ නාමය හිමිකරගෙන ඇත. සිය පළමු නායකත්ව කතාවේදී ඔහු ප්රකාශ කළේ, “අමතක කර දමා ඇති ප්රදේශවල ජනතාවට නැවත බලාපොරොත්තුවක් ලබාදීම” තම ප්රමුඛ අරමුණ බවයි.
කම්කරු පක්ෂයේ අනාගතය සඳහා මෙය තීරණාත්මක අවස්ථාවක් බව සඳහන් කළ බර්න්හැම්, බ්රිතාන්ය දේශපාලනයේ කේන්ද්රස්ථානය වන වෙස්ට්මිනිස්ටර් වෙතින් බලය රටේ කලාප වෙත විමධ්යගත කිරීම, ආර්ථිකය යළි ගොඩනැගීම සහ සමාජ සේවා ප්රතිසංස්කරණය කිරීම ඇතුළු ප්රමුඛ අරමුණු කිහිපයක් ඉදිරිපත් කළේය.
තම අමාත්ය මණ්ඩලය පිළිබඳ අවසන් තීරණය තවමත් ගෙන නොමැති බව පැවසූ ඔහු, එය පක්ෂයේ සහ බ්රිතාන්ය සමාජයේ විවිධත්වය නියෝජනය කරන කණ්ඩායමක් වනු ඇති බව ද සඳහන් කළේය. එසේම Reform UK පක්ෂයේ බලපෑමට මුහුණ දිය යුත්තේ එම පක්ෂය අනුකරණය කිරීමෙන් නොව, කම්කරු පක්ෂයේ සැබෑ වටිනාකම් හා ප්රතිපත්ති ශක්තිමත්ව ඉදිරිපත් කිරීමෙන් බවද ඔහු අවධාරණය කළේය.
මීට පිලිතුරු වශයෙන් Reform UK පක්ෂයේ නායක නයිජල් ෆරාජ් සඳහන් කර තිබුණේ, බර්න්හැම් ජනතා සෘජු ජනවරමකින් තොරව නායකත්වයට පත්ව ඇති බවත්, ඔහුගේ කතාවේ ප්රතිපත්තිමය පැහැදිලි බවක් නොමැති බවත්ය.

