කොළඹ LNW:මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ උපන් දිනය අදට (ජූලි 28) යෙදී තිබෙනවා.
1949 ජූලි මස අද වැනි දිනක උපත ලද ඔහු සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර නමින් ලද නාමය සුනිල් ආරියරත්න ලෙස ලක්මව් සරසන්නෙක් පමණක් නොව සිංහල භාෂාව,සාහිත්‍ය, කලාව හරහා ලොවක් දිනාගන්නෙක් බවට එදා කිසිවෙකුත් නොසිතන්නට ඇති.
සමාජ, දේශපාලන හැලහැප්පීම්,ජීවිතයද මරණයද වැනි අභියෝගාත්මක අඳුරු කාලයන් පසුකරගෙන විත් අද ඔහු ක්ෂේම භූමියක බොහෝ දෙනෙකුගේ ආදරය ගෞරවය දිනාගනිමින් තවදුරටත් සිය කෘතහස්ත සේවය ලබා දෙනවා.
රටක, සමාජයක තමන්ගේ නමින් පරිච්ජේද ලියවෙන්නට තරම් අයෙක් කොතරම් කැපකිරීම්, විඳදරාගැනීම් සිදුකරන්නට ඇවැසිද? එයටත් හොඳම උදාහරණය මහැදුරු සුනිල් ආරියරත්නයන්.
අද 77 වැනි වියට පාතබන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් බොහොම අපූරු සුබ පැතුමක් එක්කර තිබෙනවා.
”සිංහල උගන්වති ඇදුරෝ දිවාරැයේ
පින්කළ ළමෝ සමතුන් වෙති ආවාරයේ
රං මිණි වැනිව ගී පබැඳු පබාතයේ
සංහිඳ ඔබාමැ නොවේදෝ සකි සදාණනේ ”

මේ අතර මහැදුරු සුනිල් ආරියරත්නයන්ට සුබ පැතුම් එක්කළ ඇසගැටුණු තවත් අපුරු පබැදුමක් මේ,
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, කිවිවර ගාමිණි සුමනසේකර සිය ළබැඳියාව මෙලෙස සිය කවිකමෙන් ගෙත්තම් කර තිබෙනවා.
”දැන කිවි ලකර රස හව් විදිමින් සුමට
පණ දුන් ලිවිසරිය ගී රස උල්පතට
වෙණ තත් අතර රැඳවු ගී නද රුවට
සැනසුනි සරසවිය කිවිකම්දී ඔබට”
ඉතිං, මහැදුරු සුනිල් ආරියරත්නයිනි අග්‍රගණ්‍ය විද්වතෙක්,සාහිත්‍යවේදියෙක්,කවියෙක්, සම්මානනීය ගේය පද රචකයෙක්, සිනමා නිර්මාණකරුවෙක් ලෙස තව තවත් මේ සමාජය ස්පර්ශ කිරීම වෙනුවෙන් චිරං ජයතු!


