රෂිකා හෙන්නායක අගෝස්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 වසරේ ගිම්හානය මධ්‍යම යුරෝපය දරුණු දේශගුණික ව්‍යසනයක පරීක්ෂණාගාරයක් බවට පත් කර තිබේ. ස්ලෝවැකියාවේ දකුණුදිග ඩොල්නේ ප්ලැක්ටින්ස් ගම්මානයෙන් සෙල්සියස් අංශක 42.2ක අසාමාන්‍ය උෂ්ණත්වයක් වාර්තා වන විට, අසල්වැසි ඔස්ට්‍රියාවේ බාඩ් ඩොයිෂ්-ඇල්ටෙන්බර්ග් ප්‍රදේශය සෙල්සියස් අංශක 41.2ක සර්වකාලීන වාර්තාවක් සටහන් කළේය. වඩාත් කම්පන සහගත කරුණ වන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර රාත්‍රී අවම උෂ්ණත්වය පවා සෙල්සියස් අංශක 28ක් ලෙස වාර්තා වීමයි. මෙයින් පෙනී යන්නේ රාත්‍රී කාලයේදී පවා සිසිලනයක් නොලැබෙන, මිනිස් සිරුරට දරාගත නොහැකි “අඛණ්ඩ තාප පීඩනයක්” යුරෝපය වෙළාගෙන ඇති බවයි.
වර්තමාන තාප තරංගය හමුවේ යුරෝපීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දී සිටින බරපතලම ගැටලුව වන්නේ “කාබන් රහිත” (Carbon-free) බලශක්තිය සැමවිටම “දේශගුණයට ඔරොත්තු දෙන” (Climate-proof) බලශක්තිය නොවන බව තහවුරු වීමයි. යුරෝපයේ දෙවන දිගම ගංගාව වන ඩැනියුබ් නදියේ ජල මට්ටම වාර්තාගත ලෙස පහත වැටීම නිසා හංගේරියාවේ සහ ස්ලෝවැකියාවේ න්‍යෂ්ටික බලාගාර බරපතල අර්බුදයකට මුහුණ දී සිටී.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිසිලනය කිරීම සඳහා අතිවිශාල ජල කඳක් අවශ්‍ය වන අතර, ගංගාවල ජල මට්ටම සහ උෂ්ණත්වය ඉහළ යාම නිසා බලාගාරවල ධාරිතාව සීමා කිරීමට සිදු වී තිබේ. හංගේරියාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් අඩක් සපයන එරට එකම න්‍යෂ්ටික බලාගාරය මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි ධාරිතාවයෙන් 10%ක් වැනි අතිශය අවම මට්ටමකය. ස්ලෝවැකියාවේ න්‍යෂ්ටික බලාගාරයද 80%ක ධාරිතාව දක්වා පහත හෙළා ඇත. තාපය නිසා විදුලි ඉල්ලුම උපරිම වී ඇති මොහොතක, සැපයුම මෙසේ අඩාල වීම මගින් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික බලශක්ති යටිතල පහසුකම් නව දේශගුණික තත්ත්වයන් හමුවේ අතිශය අවදානම් සහගත බවයි.
සිඳී යන ඩැනියුබ් නදිය සහ සැපයුම් දාමයේ බිඳවැටීම

ඩැනියුබ් නදියේ ජල මට්ටම පහත වැටීම පාරිසරික ප්‍රශ්නයක්ම නොව, එය යුරෝපයේ ආර්ථික ධමනිය අවහිර කරන “බෙල්ල මිරිකන” (Bottleneck) බලපෑමක් ඇති කර තිබේ. ජර්මනියේ දරුණු නියඟය හේතුවෙන් නෞකා මගින් භාණ්ඩ ප්‍රවාහනය කළ නොහැකි වීම නිසා බොහෝ සමාගම්වලට තම සැපයුම් දාමයන් මාර්ග ප්‍රවාහනය (Trucks) වෙත මාරු කිරීමට සිදු වී ඇත. නෞකාවකට සාපේක්ෂව ට්‍රක් රථ මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම අකාර්යක්ෂම මෙන්ම අධික පිරිවැයක් දැරීමට සිදුවන ක්‍රියාවලියකි.
මූලාශ්‍ර දත්ත පෙන්වා දෙන පරිදි……..
"As a result, fewer goods are being moved, causing prices to rise."
මෙම තත්ත්වය නිසා සමස්ත මහාද්වීපය පුරා භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇති අතර, දේශගුණික විපර්යාස සෘජුවම ජීවන වියදම් අර්බුදයක් දක්වා පරිවර්තනය වී ඇති ආකාරය මින් පැහැදිලි වේ.
ලෝක සාමාන්‍යයට වඩා දෙගුණයක වේගයෙන් රත්වන යුරෝපය

විද්‍යාත්මක විශ්ලේෂණයන්ට අනුව, යුරෝපය යනු පෘථිවියේ වේගයෙන්ම රත් වන මහාද්වීපයයි. එහි උෂ්ණත්වය ඉහළ යාමේ වේගය ගෝලීය සාමාන්‍යය මෙන් දෙගුණයකි. මෙය “නව සාමාන්‍යය” ලෙස හඳුන්වන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉදිරි දශක කිහිපය තුළ මෙවැනි තාප තරංග සාමාන්‍ය තත්ත්වයක් වනු ඇති බවයි.
මෙම අර්බුදයේ බැරෑරුම්කම තහවුරු කරමින් ඉතාලි බලධාරීන් එරට ප්‍රධාන නගර 27ම ඉහළම තාප අනතුරු ඇඟවීමේ මට්ටමට (Highest Heat Alert) පත් කර ඇත. විශේෂයෙන්ම පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා කාලය තුළ සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙස නිකුත් කර ඇති නියෝගය, මහාද්වීපයක දෛනික ජීවන රටාව දේශගුණය හමුවේ දණගසා ඇති ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.
යුරෝපයේ වර්තමාන භෞතික යටිතල පහසුකම් පද්ධතිය සැලසුම් කර ඇත්තේ සෞම්‍ය දේශගුණයක් සඳහා වන අතර, එය වර්තමානයේ අත්විඳින සෙල්සියස් අංශක 40 ඉක්මවන තාපයකට ඔරොත්තු දීමට මූලික වශයෙන්ම අසමත්ය. වත්මන් යුරෝපීය ගොඩනැගිලි සහ නගර සැලසුම් 1.5°C ඉක්මවා ගිය ලෝකයකට කිසිසේත්ම නොගැලපෙන “උරුම පද්ධති” (Legacy systems) ලෙස හැඳින්විය හැක.

මෙම අසාර්ථකත්වයේ ප්‍රතිඵලය වන්නේ මිනිස් ජීවිත දහස් ගණනින් අහිමි වීමයි. මේ ගිම්හානයේදී පමණක් යුරෝපය පුරා තාපය හේතුවෙන් සිදුවූ “අතිරික්ත මරණ” (Excess deaths) දහස් ගණනක් වාර්තා වී ඇත. ඉතාලියේ තක්කාලි වගාවක වැඩ කරමින් සිටියදී මියගිය 19 හැවිරිදි තරුණ කම්කරුවාගේ මරණය හුදෙක් හුදකලා සිදුවීමක් නොව, පවතින යටිතල පහසුකම් සහ කම්කරු ආරක්ෂණ ක්‍රමවේදයන් දේශගුණික අර්බුදය හමුවේ යල් පැන ගොස් ඇති බවට ලැබුණු බරපතල අනතුරු ඇඟවීමකි.


