ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ඒ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
පවතී ආණ්ඩු තුළ අමාත්‍ය ධූර හෙබවූවන් අතරින් කෙහෙළිය රඹුක්වැල්ල වෙත චෝදනා රැසක් එල්ල වී තිබෙන අතර ඒවාට අදාළව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතියි.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීමත් එමඟින් රෝගී ජීවිත අනතුරේ හෙලීමත් බරපතල ලෙස සාකච්ජාවට ගැනුණි.
පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කර හිටපු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර සිටියි.
එම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වීමට නීතිපතිවරයා තීරණය කරන ලදී.
මේ වන විට එම නඩුව විභාග වෙමින් ඇත.
එමෙන්ම 2021 සහ 2023 යන කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළත් කොට ඔවුන්ට ලැබෙන වැටුප් දීමනා සහ අතිකාල දීමනා සියල්ල ලබාගෙන ඒවා සිය ආධාරකරුවන්ට ලබා දීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිලි තුනක් ගොනු කර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප මිල දී ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කර කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කරනු ලැබීය.
2006 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකතන සඳහා ගෙවිය යුතු බිල වන රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව තවත් නඩුවක් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කර හිටපු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව හිටපු ඇමතිවරයාට එරෙහි මෙම චෝදනාවන්ට අදාළව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතියි.


