ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.
2026 ජූලි 27 වැනිදා ප්‍රකාශයට පත් කළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ ප්‍රාදේශීය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අවශ්‍යතාව මත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට ආණ්ඩුව පැමිණි නමුත් අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සෑම අවස්ථාවකදීම ආරක්ෂා කළ යුතු බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.
ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් යුක්තිය සහතික කිරීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මානව ගරුත්වය තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ පොදු යහපත සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද එම සම්මේලනය අවධාරණය කර ඇත.
ඒ අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම්, එය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ යුතු බවයි ඔවුන් පවසන්නේ.
පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම, අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් ලබාදීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම එවැනි සංශෝධනයක ප්‍රධාන අරමුණු විය යුතු බවද කතෝලික රදගුරු සම්මේලනය සඳහන් කරයි.
මෙම නිවේදනය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ මහලේකම් අතිඋතුම් ආචාර්ය පී. ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා විසින් නිකුත් කර ඇත.


