නන්දා මාලනී ජේවීපී ද ?

83 වැනි උපන්දිනයට දෙදිනක් තබා ඕ තොමෝ නික්ම ගොසිනි.

ඇය ගැයූ ගීත දැන් අයත් වන්නේ අතීතයට ය. නමුත් ඇය සදාකාලික ය. මේ කෙටි සටහන ඇය වෙනුවෙනි.

නන්දා මාලිනිය ගැයූ බොහෝ ගීත අතරින් අද දවසේ වඩාත් සංවාදයට බඳුන්ව ඇති “සත්‍යයේ ගීතය” සහ “පවන” කැට්සපටිවල අඩංගු ගීත ඒවා ලියැවුණු කාලසීමාවට අදාළව ගත්විට කාලීන අවශ්‍යතාවයකි. ඒවා ඒ මොහොතේ ලියැවීය යුතුව තිබිණි. ඒවා ඒ මොහොතේ ගැයිය යුතුව තිබිණි. නමුත් ඒවා සර්වකාලීන නිර්මාණ නොවේ. සන්දර්භය වෙනස් වෙද්දී ඒ නිර්මාණ තවදුරටත් අදාළ නොවන බව ඇය විසින්ම “සත්‍යයේ ගීතය” තුළම ගායනා කර තිබිණි.

අදටයි මගේ මේ ගී
හෙට උදෑසන හිරු උදාවත එපා නම් මේ ගී
පිළිකෙව් කරන් කෙවිටෙන් තළා අවමන් කරන්
පිටමං කරන් මනසින්

එමෙන්ම “පවන” ගීත සමුච්ඡයේ ‘දොරකඩ අස්නේ’ ඇය මෙසේ ගැයුවා ය.

සාදු ජන ගන මනා සභා ගැබ පොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
ලී යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙලවල්ය ගැයෙන්නේ
දාදියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවිය රන් විසින් නොව දුකට පත් දන විසින්
එදළ රළු පද බැඳුම් විරචිතයි

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැනියයි

ඒ බිහිසුණු මෙන්ම බලාපොරොත්තු සහගත යුගය තුළ ඒ ගීත කාලීන අවශ්‍යතාවයක් විය. වික්ටර් හාරා විසින් චිලියේදී කළේද එයයි. මේ සම්බන්ධයෙන් ලෝකය පුරා තවත් නිදසුන් රැසක් සොයාගත හැකිය. නන්දා මාලනී විසින් ඉටුකළේ ද ඒ ඓතිහාසික යුතුකමයි.

ඉවසා ඉවසා බැරිම තැන ….

මේ සියල්ලට පසුබිම් වූ අතීතය පිළිබඳ සලකා බැලීමේදී අපට හමුවන්නේ 1983දී ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වුණු දේශපාලන සංසිද්ධියයි. 83 කළු ජූලිය මෙන්ම ඒ හා ඈඳුණු සමස්ත වටපිටාව තුළ සෑම දෙමළ ජාතිකයකුටම පාහේ තම පෙළන පීඩාවට එරෙහි වීමට වුවමනා වූ අතර ඔවුන් නිතැතින්ම සටන් මගට අවතීර්ණ වුණි. 83 ජවිපෙ තහනම් කිරීමත් සමග සිංහල ජනතාව අතරත් සිදුවූයේ ද එයමය.

එදා පැවති පාලන තන්ත්‍රය විසින් දෙමළුන් එල්.ටී.ටී.ඊ. ය වෙතටත් සිහලුන් ජ.වි.පෙ. වෙතටත් තල්ලු කරන ලදී. කශේරුකාවක් ඇති සියල්ලන්ටම පාහේ එදා සටන්වැදීමට අවශ්‍ය වුණි. තරුණ ජවය යනු එයයි. එය යුක්ති යුක්ත සටනකි.

එදා – අද පරස්පරය

එදා නන්දා මාලනියගේ ගීතවලින් ප්‍රමුදිත වූ භද්‍ර යෞවනයින් අද වනවිට 60 වැනි විය සම්පූර්ණ කරමින් සිටී. ඔවුන් එදා දකින්නට අවස්ථාව නොලද ලෝකය දකිමින් ඇත. අද රටේ පවතින්නේ ද ඔවුන්ගේම ආණ්ඩුවකි. ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ ආණ්ඩුවකි.

ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව යනු ජනතා විමුක්ති පෙරමුණේ ලිබරල් මුහුකුරායාම වශයෙන් හැඳින්විය හැකිය. එතැනට පැමිණෙද්දී එදා වරනැඟූ සටන් පාඨ සහ මේ රාජ්‍ය පාලනය අතර අත්විශාල පරතරයක් දැකගැනීමට හැකිය. එදා කතා අද වලංගු නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානයට බලය ලැබුණත් සිදුවන්නේ ඔය ටිකම ය.

කාටත් නිශේධනය කළ නොහැකි දෙය නම් “වයස අවුරුදු 25දී විප්ලවවාදියෙකු නොවෙන කෙනෙකුට හදවතක් නැත, වයස අවුරුදු 50දී ලිබරල්වාදියෙකු නොවෙන කෙනෙකුට මොළයක් නැත” යන්නයි.

එදා “සත්‍යයේ ගීතය” සහ “පවන” ගායනා කළ සමයේදී බොහෝ අය නන්දා මාලිනීට සහ සුනිල් ආරියරත්නට දෝෂාරෝපණය කළහ. එහෙත් නන්දා මාලිනිය ඒ අරමුණ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියාය. 1991 වනවිට ජවිපෙ දෙවැනි කැරැල්ල බිහිසුණු ලෙස මර්දනය කර, කුඩු පට්ටම් කරදමා තිබුණු මොහොතේදී ඇය ඉතා පරිණත ආකාරයෙන් මෙසේ ගැයුවාය.

තටු බිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹමු පැටවුනේ
ඝන තිමිර මුදාහැර උදාගිර බලායමු දරුවනේ

එමෙන්ම “කතරගමින් පිටමං වී යනු මුරුගා” යැයි ගැයූ හඬින්ම ඇය “කතරගමේ දෙවොල් බිමේ පහන් තරුව දිලෙන රැයක” යනුවෙන් ද ගැයුවා ය. එය ඇගේ පරිණතකමයි. ජීවිතයේ 5 වන දශකයේදී එළඹෙන ලිබරල් මුහුකුරායාමයි.

මෙය මුලපටන්ම දැන සිටි පිරිසක් ද එදා සිටියහ. එහෙත් ඔවුන් වැටුණේ ජවිපෙ විරෝධී කාණ්ඩයට ය. එදා නන්දා මාලනියගේ “පවන” පිළිබඳව පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී එක් අයෙකු “මේක ජනතා විරෝධය නමැති තෙල් තාච්චියට දාපු පපඩමක්” යැයි කියූ විට එහි සිටි අප ද ඔහුට “හූ” කිවා මතක ය. එහෙත් එය ද සර්ව කාලීන සත්‍යයකි. යම්කිසි කාර්යයක් ඉටු වූ පසුව කාලානුරූපීව චින්තනාත්මකව ද පුද්ගලයින් වෙනස් විය යුතුව ඇත.

නන්දා මාලනිය අද නික්ම යන්නේ පූර්ණ ආයුෂ විඳීමෙන් අනතුරුව ය. මේ ගමන ඇය යායුතු එකකි. එදා ඇගේ ගීත ඇසූ භද්‍ර යෞවනයින් වූ අප ද අද වනවිට මේ දුවමින් සිටින්නේ ජීවිතයේ අවසන් ධාවන වටයයි. උතුරේදී පුදුවෛ රත්නතුරෛ කවියා විසින් කළ දෙය ද දකුණේදී නන්දා – සුනිල් විසින් කළ දේ ද දෙකක් නොව එකකි. එය කාලීන කාර්යයකි. නමුත් සර්වකාලීන නොවේ. එමෙන්ම ඒ කාර්යභාරය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද නැත. මන්දයත් පැවති පාලන තන්ත්‍රය විසින් ඔවුන්ව එතැනට තල්ලු කළ බැවිනි.

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් අමුතුය. නන්දා මාලනිය අභාවප්‍රාප්ත වූ සැණින් මුලින්ම ඇය පිළිබඳ ශෝකය පළ කළේ එදා ඒ පරපුර අතින් ගර්හාවට ලක්වූ ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පුත් සජිත් ප්‍රේමදාසයි. සජිත් ප්‍රේමදාස යනු තම පියාගේ එදා දේශපාලන ක්‍රියාවකට එරෙහිව අද කැරලි ගසන්නෙකි. ඔහු තම පියාගේ ක්‍රියාවන් සියල්ල සාධාරණීකරණය කරන්නේ නැත. ඒ අර්ථයෙන් එය සර්ව කාලීනය.

නන්දා මාලනිය තබා යන්නේ විශාල ශුන්‍යතාවයකි. ඉතා විශාල ශුන්‍යතාවයකි. එය පිරවීමට කිසිවෙකු නැත. ඇගේ පසුපසින් එතැනට පැමිණීමට කෙනෙකු නැත. එහෙත් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් කවරෙකු හෝ එතැනට පැමිණෙනු ඇත. සමාජයක කටයුතු කෙරෙන්නේ ඒ ආකාරයෙනි.

පෙදෙහි රස හවු විඳින ජනයිනේ වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්

කලා මර්යාදා බිඳින්නට විනම් මට
බිඳහලෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දේශයක් රාජයක්

අනන්ත වූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි

අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පළාගිය මධුර ගී

භද්‍ර රාජ්‍යය යනු සංකල්පයකි. එය එක් එක් අයට එක් එක් ආකාරයෙන් හැඟේ. දැන් වනවිට ඇතැමුන්ට භද්‍ර වූ දේශය පහළ වී ඇත. එය තම තම නැණ පමණින් විමසා බැලිය යුත්තකි.

මෑත දිනකදී ද එක්තරා කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ නන්දා මාලනියට බැනවදිනු දක්නට ලැබිණි. ඇය දෝෂාරෝපණය කළේ නන්දා මාලනියගේ ගීතවලින් රට ලේ විලක් වූ බව කියමිනි. ඊට ද පිළිතුරක් දිය යුතු ය. ඉතිහාසය ගොඩනැඟෙන්නේම මානව නැගිටීම්වලිනි. අරගලවලිනි. අරගලවලින් තොර ඉතිහාසයක් නැත. එහෙත් ඒ නැගිටීම් ඉතා සුමට වන්නේ නැත. එහිදී දෙපාර්ශ්වයම ලේ වැගිරීම් සිදුකරයි. අද නන්දා මාලනියට චෝදනා කරන අය එදා ආර්. ප්‍රේමදාස කළ දෙය කියන්නේ කුමක්ද ? එදා රංජන් විජේරත්න කළ දෙය ගැන කියන්නේ කුමක්ද ? ඒ මර්දනයත් කාලීන බව කිවහැකිය. ඒ පසුපස හඹායෑම තේරුමක් නැති ක්‍රියාවක් බව පැලවත්ත පවා අද වනවිට තේරුම් ගෙන සිටී. එය ඔවුන්ගේ ලිබරල් මුහුකුරායාමයි.

නන්දා මාලනිය ඉතිහාසය තුළ තම කාර්යභාරය අවසන් කර, යායුතු පරිදිම අද නික්ම යන්නීය. අපට ඇය ගැන ඇත්තේ මිශ්‍ර හැඟීමකි. නමුත් අපට කිසිදිනෙක ඇයව අමතක වන්නේ නම් නැති බව ඉඳුරා කිව හැකිය.

ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද …

යළිත් හමුවන තුරු, නන්දා මාලනියනි ඔබට සුබගමන් … !!

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...