රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, කොළඹ LNW :
පොළොන්නරුව දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 3.5ක මුදලක් වැය කළ බවත්, වසරක කාලයක් පුරා තම පෞද්ගලික වියදමින් එම දුම්රිය ස්ථානය නඩත්තු කිරීමට කටයුතු කරන බවත් ශ්රී ලාංකික ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
“මම ඔබට පොරොන්දු වූ පරිදි, පොළොන්නරුවේ ජනතාවට අලංකාර දුම්රිය ස්ථානයක් ලබා දී තිබෙනවා. මින් ඉදිරියට අනාගත පරපුර වෙනුවෙන් එය ආරක්ෂිතව පවත්වාගෙන යාම ඔබ සතු වගකීමක්. එබැවින්, වසරක කාලයක් පුරා මගේම වියදමින් එය නඩත්තු කිරීමේ වගකීම මම භාරගෙන තිබෙනවා,” – ඩඩ්ලි සිරිසේන
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ “Dream Destination” (සිහින ගමනාන්තය) නම් මහජන වැඩසටහන යටතේ, ප්රතිසංස්කරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය අද (03) දින මහජනතාවට භාර දෙන ලදී.
මෙම වැඩසටහන ක්රියාත්මක කෙරෙන්නේ ‘Clean Sri Lanka’ (පිරිසිදු ශ්රී ලංකා) ලේකම් කාර්යාලය සහ ප්රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්යාංශයේ මූලිකත්වයෙන් වන අතර, ඊට පෞද්ගලික ව්යාපාර ආයතනවලින් මූල්යමය දායකත්වයන් සහ සේවාවන් හරහා සහාය හිමිවේ.
රුපියල් මිලියන 3.5ක දායකත්වයක් ලබා දෙමින් ‘අරලිය සමූහ ව්යාපාරය’ (Araliya Group of Companies) විසින් පොළොන්නරුව දුම්රිය ස්ථානයේ ප්රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
මෙම ව්යාපෘතියට පවතින දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ප්රතිසංස්කරණය කිරීම මෙන්ම වැසිකිළි පහසුකම්, දුම්රිය භාණ්ඩ ගබඩාව, ආගමික නායකයින් සඳහා වන පහසුකම් සහ පිරිමි හා කාන්තා සඳහා වෙනම වැසිකිළි පහසුකම් ඇතුළු පහසුකම් ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමට ඇතුළත් විය.
ප්රතිසංස්කරණය කරන ලද දුම්රිය ස්ථානය අද දින නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කෙරිණි.


