සටහන – පුලී
සැප්තැම්බර් 05, LNW (කොළඹ): ලෝකයේ වැදගත්ම සමුද්රීය මාර්ගයක නම වෙනස් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් යෝජනා කිරීමත් සමඟ ජාත්යන්තර දේශපාලන කරළිය නැවතත් උණුසුම් වී තිබේ.
ලෝකයේ තෙල් ප්රවාහනයේ වැදගත්ම ජල මාර්ගයක් දැන් නම මාරු කිරීමේ proposal එකකට හසුව තිබේ.
සාමාන්යයෙන් රටක පාරක්, ගොඩනැගිල්ලක් හෝ ක්රීඩාංගණයක් නම් කරනවා වගේ වැඩක් නෙවෙයි මේ.
මෙවර කතාවට ඇතුළත් වෙන්නේ සම්පූර්ණ සමුද්ර සන්ධියක්.
ඒත් නම දාන්න යෝජනා කරන්නේ කාගේ නමද?
ට්රම්ප්ගේ!
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ලෝකයේ අතිශය වැදගත් හෝමුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) “Trump Strait” ලෙස නම් කළොත් කොහොමදැයි යෝජනා කර තිබේ.
කියන්න තියෙන්නේ එකයි.
ලෝකයේ සමහර දේශපාලන නායකයන් තමන්ගේ රට හදනවා.
සමහරු නීති හදනවා.
ට්රම්ප්?
සමහර වෙලාවට ලෝක සිතියමත් edit කරන්න හිතනවා වගේ පේනවා.
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින උණුසුම් ගැටුම් මධ්යයේ, ලෝක බලශක්ති සැපයුම් පද්ධතියේ හදවතක් ලෙස සැලකෙන හෝමුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) “ට්රම්ප් සමුද්ර සන්ධිය” හෙවත් Trump Strait ලෙස නම් කළේනම් වඩා අඟනේයැයි ඩොනල්ඩ් ට්රම්ප් ප්රශ්න කර තිබේ.
ට්රම්ප් මෙම අදහස සිය Truth Social සමාජ මාධ්ය ජාලය ඔස්සේ ප්රකාශ කරමින්, එම ජල මාර්ගය දැන් ඇමෙරිකානු පාලනය යටතේ පවතින බවටද ප්රකාශ කළේය. පසුව ධවල මන්දිරයද “Trump Strait” යන නම සඳහන් කළ සිතියමක් සමාජ මාධ්ය ඔස්සේ පළ කිරීමෙන් මෙම කතාව තවත් ජාත්යන්තර අවධානයට ලක්විය. කෙසේ වෙතත්, පසුව ට්රම්ප් මෙම අදහස සම්පූර්ණයෙන්ම නිල තීරණයක් නොව, යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ බවටද ඉඟි පළ කළේය.
ඇයි හෝමුස් සමුද්ර සන්ධිය මෙතරම් වැදගත්?
හෝමුස් සමුද්ර සන්ධිය යනු පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක සම්බන්ධ කරන අතිශය වැදගත් ජල මාර්ගයකි. සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්ය ඇතුළු තෙල් නිෂ්පාදන රටවලින් ලෝක වෙළෙඳපොළ වෙත ගෙන යන විශාල තෙල් ප්රමාණයක් මෙම මාර්ගය හරහා ගමන් කරයි.
ඒ නිසා මෙම සමුද්ර සන්ධියේ ගැටුමක් හෝ අවහිරයක් ඇතිවීම තෙල් මිලට පමණක් නොව, ලෝක ආර්ථිකයටම බලපෑම් ඇති කළ හැකි කරුණකි.
විශේෂයෙන්ම ආසියානු රටවල් සඳහා මැද පෙරදිග තෙල් සැපයුමේ ප්රධාන මාර්ගයක් වන්නේද මෙම සමුද්ර සන්ධියයි. එබැවින් හෝමුස්හි යුද උණුසුම වැඩිවීම ශ්රී ලංකාව වැනි තෙල් ආනයනය මත විශාල වශයෙන් රඳා පවතින රටවලටද වක්රව බලපෑ හැකිය.
ට්රම්ප්ගේ ප්රකාශය මැද ඉරානයේ දැඩි ප්රතිචාර!
ඇමෙරිකාව හෝමුස් සමුද්ර සන්ධිය තම පාලනය යටතට ගෙන ඇති බවට ට්රම්ප් කළ ප්රකාශ ඉරානය විසින් ප්රතික්ෂේප කර ඇත. ඉරානය දිගින් දිගටම මෙම කලාපය සම්බන්ධයෙන් තම බලපෑම සහ ආරක්ෂක හැකියාව අවධාරණය කරමින් සිටී.
පසුගිය දිනවල මෙම ජල මාර්ගය ආශ්රිතව වාණිජ නෞකා වෙත ප්රහාර, යුද නෞකා චලනයන් සහ මිසයිල තර්ජන වාර්තා වීමත් සමඟ ජාත්යන්තර වෙළෙඳ නාවික කටයුතු පිළිබඳ බරපතළ අවදානමක් මතුව තිබේ.
ඇමෙරිකානු සහ ඉරාන හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් තෙල් වෙළෙඳපොළේ මිල ගණන් ද ඉහළ යාමේ ප්රවණතාවක් දක්නට ලැබුණි.
කලාපයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් බ්රිතාන්යයේ UKMTO (United Kingdom Maritime Trade Operations) වැනි නාවික ආරක්ෂක ආයතනද කලාපය හරහා ගමන් කරන නෞකා සඳහා විශේෂ ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම ඉරානය අවට මුහුදු කලාපය සහ හෝමුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන නෞකා අවදානම් තත්ත්වයන් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙවැනි අනතුරු ඇඟවීම් සාමාන්යයෙන් නිකුත් කරනු ලබන්නේ නෞකා පැහැරගැනීම්, ඩ්රෝන ප්රහාර, මිසයිල ප්රහාර හෝ මුහුදු ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින අවස්ථාවලදීය.
මෙහි ඇති වැදගත්ම ප්රශ්නය වන්නේ?
ලෝකයේ ජාත්යන්තරව පිළිගත් ජල මාර්ගයක නම එක් රටක ජනාධිපතිවරයෙකුට තනිවම වෙනස් කළ හැකිද යන්නයි.
කෙටි පිළිතුර නම් එය එතරම් සරල කාරණයක් නොවන බවයි.
හෝමුස් සමුද්ර සන්ධිය වැනි ජාත්යන්තර භූගෝලීය ස්ථානයක නම වෙනස් කිරීම සඳහා ජාත්යන්තර පිළිගැනීම අවශ්ය වේ. එක් රටක් තම නිල ලේඛන හෝ සිතියම් තුළ නමක් භාවිතා කළද, එම නම ලෝකය පුරා නිල වශයෙන් පිළිගැනීමට ජාත්යන්තර භූගෝලීය සහ රාජ්යතාන්ත්රික ක්රියාවලීන් අවශ්ය වේ.
මෙය ට්රම්ප් විසින් භූගෝලීය ස්ථානයකට නව නමක් යෝජනා කළ පළමු අවස්ථාව නොවේ. ඔහුගේ පාලන සමය තුළ ප්රසිද්ධ ස්ථාන සහ ජල ප්රදේශ සම්බන්ධයෙන් නාම වෙනස් කිරීමේ යෝජනා කිහිපයක්ම ජාත්යන්තර විවාදයට ලක්ව තිබේ.
මෙවැනි තීරණ සහ යෝජනා ට්රම්ප්ගේ දේශපාලන සන්නාමකරණයේ කොටසක් ලෙස ඇතැම් විචාරකයෝ හඳුන්වති. ඔහුගේ ආධාරකරුවන් එය ඇමෙරිකානු බලය සහ ජාතික අභිමානය ප්රදර්ශනය කිරීමක් ලෙස දකින අතර, විවේචකයන් පවසන්නේ එය බරපතළ ජාත්යන්තර ගැටලු අතර අවධානය වෙනතකට යොමු කිරීමේ දේශපාලන ක්රමවේදයක් විය හැකි බවයි.

