මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග බෝදරගම මහතා අද (10) නියම කළේය.
ඒ, කොළඹ ඇතුළු ප්රදේශවල ඉතා වටිනා ඉඩම්වලට කූඨ ලේඛන සකස්කර බලහත්කාරයෙන් අත්පත් කරගෙන විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට මොවුන් සම්බන්ධ බවට තොරතුරු ඇති බැවින් ඔවුන් රටින් පළාගියහොත් විමර්ශනවලට බාධා වියහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ඉල්ලීමක් අනුවය.
මෙසේ විදෙස් ගමන් තහනම් කරන ලද්දේ ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයට ය.
ඔවුන් දිගින් දිගට ම අධිකරණය මග හරිමින් සිටින බැවින්, දුටු තැන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් CID නිලධාරීන් විසින් අධිකරණය දැනුම්දෙන ලදී.
කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් කෝටි 100ක මුදලකට ප්රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණීමේ සිද්ධියකට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් CID නිලධාරීන් විසින් අධිකරණය ඉදිරිපත් කෙරිණි.
වැඩිදුරටත් කරුණු දැක්වූ CID නිලධාරීන් පැවසුවේ ප්රශ්නගත කොළඹ බාන්ස් පෙදෙසේ අංක 18 දරන ඉඩමට කූඨ ලේඛන සකස් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තා සමග මෙකී ඩිලන්ත මාලගමුව ඇතුළු පුද්ගලයින් සිව්දෙනා කුමන්ත්රණය කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. දිසානායක නමැත්තා විසින් සකස් කරන ලද බව කියන ව්යාජ ඔප්පුවක් මගින් 2026 ජුනි 05 වන දා එම ඉඩම සමාගම් තුනකට විකුණා ඇති බව පැවසූ CID නිලධාරීන් එසේ ඉඩම පැවරීමේදී මුදලින් ධාවන ශූර ඩිලන්ත මාලගමුවට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි 50ක මුදල වෙනුවට වාහන 14ක් ලබා දී ඇති බවත්, එලෙස ලැබුණු වාහන 14න් වාහන හතක් දෙවැනි පුද්ගලයාට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තාගේ ඇටර්නි බලකරුවන් ලෙස කටයුතු කර ඇත්තේ, ශාන්ත විතාන ගමගේ සහ ඩෙස්මන්ඩ් අමරසිංහ යන අය බව ද අනාවරණය වී ඇතැයි CID නිලධාරීන් දන්වා සිටියේය.
ඒ අනුව මෙම පුද්ගලයින්ගේ නම්වලින් පවත්වාගෙන යන බැංකු හා මූල්ය ආයතනවල ගිණුම්වලට අදාළ මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඔවුන්ගේ නම්වලින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස බැංකු හා මූල්ය ආයතන 89කට නියෝග කරන ලෙස ද CID නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ගිණුම් වාර්තා කැඳවීමට අවසර ලබා දුන් ප්රධාන මහේස්ත්රාත්වරයා, අදාළ ගිණුම් තොරතුරු රහස් පොලිසියට ලබාදෙන ලෙස බැංකු හා මූල්ය ආයතන 89ක කළමනාකරුවන්ට නියෝග කළේය.
මේ අතර ඩිලන්ත මාලගමුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා පොලිසිය මඟහැර ගොස් නොමැති බවත්, තදබල හෘද රෝගී තත්ත්වයකින් පසුවන ඔහු ශල්යකර්මයකට මුහුණ දීම සඳහා රෝහල්ගතව සිටි අතර මේ වනවිට ඔහු නිවසේ රැඳී සිටින බවත් ය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට ඔහු සූදානම් බවත් නීතීඥවරයා ප්රකාශ කළේය.
මෙම කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතුවල ප්රගතිය ඔක්තෝබර් 29 වන දා අධිකරණයට වාර්තා කරන ලෙස CID නිලධාරීන්ට නියෝග කළේය.


