රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :
ශ්‍රී ලංකාව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO) සමඟ ආරක්ෂක සහයෝගීතාව ලබාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රුසියානු තනාපති ලෙවාන් ධජගාරියන් (Levan Dzhagaryan) පැවසුවේ, එය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කරුණක් බවත්, බටහිර රටවල් මෙන් රුසියාව බලපෑම් නොකරන බවත්ය.
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සම්බන්ධ වීම පිළිබඳව රුසියාව කංකිලියෙන් පසුවන්නේදැයි ‘ මාධ්‍ය කළ විමසීමට තනාපතිවරයා පැවසුවේ, “නැත, එය ඔබගේ ද්විපාර්ශ්වික කරුණකි. බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ" යනුවෙනි.
කැනඩාවේ වික්ටෝරියා නුවර පැවැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ සමුළුවට සමගාමීව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, NATO හමුදා කමිටුවේ සභාපති අද්මිරාල් ජුසෙපේ කැවෝ ඩ්‍රැගෝන් (Giuseppe Cavo Dragone) සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
එහිදී හමුදා නවීකරණය, සයිබර් සූදානම (cyber readiness), උසස් තාක්ෂණය සහ ආපදා ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අවධානය යොමු විය.
තවද, දෘඩකාංග (hardware) යාවත්කාලීන කිරීම, නව තාක්ෂණයන් ලබා ගැනීම, නිරීක්ෂණ කටයුතු ඉහළ නැංවීම මෙන්ම කාර්ය මණ්ඩල පුහුණුව සහ තොරතුරු හුවමාරු කර ගැනීම පුළුල් කිරීම කෙරෙහි ද සාකච්ඡා විය.
හදිසි මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානා භාවිතය ඇතුළුව මානුෂීය ආධාර සහ ආපදා සහන සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී සම්පත් තුයියකොන්තා මහතා අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව සමඟ පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලෙස NATO සංවිධානයට ඇරයුම් කළේය.
NATO යනු යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවලින් සමන්විත දේශපාලන හා හමුදාමය සන්ධානයකි. එහි සාමාජිකයින් ඕනෑම තර්ජනයකින් එකිනෙකා ආරක්ෂා කිරීමට බැඳී සිටී.
යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින පූර්ණ පරිමාණ යුද්ධයෙන් පසුව, NATO සහ රුසියාව අතර සබඳතා මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතී.


