ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව ඊට අදාළව පියවර ගන්න ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා ඇත.
මේ වන විට ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ බොහොමයක් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පහුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද උදෑසන වන විට කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, අනෙකුත් ගංගා ද්‍රෝණි බොහොමයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
පසුගිය 19 වැනිදා දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අවදානම පවතින බවයි ඔහු සඳහන් අක්රන්නේ.
එමෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට ආසන්නව පවතින අතර කැලණි ගඟේ හංවැල්ල, ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජල මට්ටම් ද ඉහළ අගයක පවතින අබව සඳහන්.
මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ද අඩුවෙමින් පැවතුණද, මේ සියලු ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ධාරිතාව මේ වන විට සියයට 34ත් 35ත් අතර ප්‍රමාණයක පවතියි.
එම ජලාශ වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ පිහිටා තිබීම නිසා එම ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයක් ලැබී නොමැති බවත් එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසන අතර මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට ලැබුණු වර්ෂාපතනය නිසා කොත්මලේ සහ පොල්ගොල්ල ඇතුළු ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ජලයෙන් යටවූ ප්‍රදේශවල ජල ක්‍රීඩාවල යෙදීම හෝ වෙනත් කටයුතු සඳහා පිවිසීමෙන් වළකින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

