රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW :
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.
එම ගිවිසුම මඟින් වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි දෙරටේ පුරවැසියන්ට දින 180ක කාලසීමාවක් තුළ රැකියා, අධ්‍යාපන, මාධ්‍ය හෝ වෙනත් පූර්ව අනුමැතීන් අවශ්‍ය කටයුතු හැර සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා උපරිම දින 30ක තනි කාලසීමාවක් සහ සමුච්චිත දින 90ක කාලසීමාවක් දක්වා පූර්ව වීසා බලපත්‍රයකින් තොරව රටට ඇතුළු වීමට, පිටවීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව හිමිවනු ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ රජය සහ තායිලන්තයේ රජය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


