රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :
ජාත්යන්තර නීතිය සහ මානව හිමිකම් යනු සැබවින්ම සමස්ත ලෝකයටම එක හා සමානව බලපවත්වන මූලධර්මද? නැතහොත් බලවත් රාජ්යයන්ගේ රාජ්යතාන්ත්රික වාසි අවාසි හමුවේ ඒවා කඩදාසියකට සීමා වූ වචන පමණක්ද? ගාසා තීරයේ සිදුවූ අතිශය සංවේදී සිදුවීමක් නැවතත් ලෝකයේ අවධානයට යොමුවන්නේ මෙම ප්රශ්නාර්ථය තදින්ම මතු කරමිනි.
ගාසා තීරයේදී ඊශ්රායල හමුදා ප්රහාරයකින් අමානුෂික ලෙස ඝාතනය වූ පස් හැවිරිදි හින්ද් රජාබ් (Hind Rajab) නමැති කුඩා දියණියගේ ඛේදජනක අත්දැකීම අද වන විට ජාත්යන්තර නීතිය හමුවේ දැවැන්ත අභියෝගයක් බවට පත්ව තිබේ. ඇමෙරිකානු කොංග්රස් මණ්ඩල මන්ත්රී රෂීඩා ත්ලායිබ් (Rashida Tlaib) විසින් කරන ලද බලපෑම්කාරී අනාවරණයත් සමඟ, මෙම ඝාතනයට වගකිව යුතු හමුදා අණදෙන නිලධාරියාට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ අවශ්යතාව නැවතත් ගෝලීය සංවාදයකට මුලපුරා ඇත.
ඊශ්රායල හමුදා අණදෙන නිලධාරියා ඇමෙරිකාවේ: නීතිය ක්රියාත්මක වේද?
හින්ද් රජාබ් ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින් ඝාතනය වූ ස්ථානයේ රැඳී සිටි බවට හඳුනාගෙන ඇති ‘Vampire Empire’ නම් ඊශ්රායල හමුදා කණ්ඩලයේ අණදෙන නිලධාරී ෂෝන් ග්ලාස් (Sean Glass) දැනට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පසුවන බවට වාර්තා වී ඇත.
ඇමෙරිකානු කොංග්රස් මණ්ඩල මන්ත්රී රෂීඩා ත්ලායිබ් පෙන්වා දෙන්නේ ජෙනීවා සම්මුතිය (Geneva Conventions) සහ ජනසංහාර වැළැක්වීමේ සම්මුතිය (Genocide Convention) සඳහා පාර්ශ්වකරුවෙකු වන ඇමෙරිකා එක්සත් ජනපද රජයට, මෙම යුද අපරාධ සහ ජනසංහාරක ක්රියා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේ නීතිමය වගකීමක් පවතින බවයි.
මෙම සිදුවීමට අදාළව හින්ද් රජාබ් පදනම (Hind Rajab Foundation – HRF) විසින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් (US Department of Justice) හදිසි ඉල්ලීමක් කරමින් ෂෝන් ග්ලාස් අත්අඩංගුවට ගන්නා ලෙස බලකර සිටින අතර, ඔවුන් පහත සඳහන් ප්රකාශය නිකුත් කර ඇත’
"ෂෝන් ග්ලාස් විසින් පස් හැවිරිදි හින්ද් රජාබ්, ඇගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් බේරා ගැනීමට පැමිණි වෛද්ය කණ්ඩායම ඝාතනය කිරීමට සම්බන්ධ 'Vampire Empire' කණ්ඩලයට අණ දෙන ලදී. ඝාතනය සිදුවූ අවස්ථාවේ ග්ලාස් සහ ඔහුගේ සෙබළුන් හින්ද් සිටි රථය ආසන්නයේම සිටි බව HRF විමර්ශන මගින් තහවුරු කර ඇත. අද වන විට ග්ලාස් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහසේ සැරිසරයි. ඇමෙරිකානු බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන යුක්තිය ඉටු කළ යුතුය."
මෙම තත්ත්වය මගින් පැහැදිලි වන්නේ, යම් රාජ්යයක් සමඟ පවතින දැඩි රාජ්යතාන්ත්රික සබඳතා හමුවේ, අදාළ රාජ්යයේ හමුදා නිලධාරීන් විසින් සිදුකරන ලදැයි චෝදනා නැගෙන යුද අපරාධකරුවන්ට දඬුවම් දීමේ ජාත්යන්තර යාන්ත්රණයන් මුහුණදෙන බරපතල ප්රායෝගික අභියෝගයන්ය.
"මම ගොඩක් බයවෙලයි ඉන්නේ": වෙඩි උණ්ඩ 335ක් පිටුපස ඇති ඇත්ත
මෙම නීතිමය ක්රියාමාර්ගයට පදනම් වූ එම ශෝකජනක සිදුවීම සිදුවූයේ 2024 ජනවාරි 29 වන දිනදීය. එදින හින්ද් රජාබ් දියණිය සහ ඇගේ පවුලේ පිරිස ගාසා නගරයෙන් ඉවත් වීමට උත්සාහ කරද්දී ඔවුන් ගමන් කළ රථයට ඊශ්රායල හමුදා විසින් ප්රහාර එල්ල කරන ලදී. ප්රහාරයෙන් පවුලේ අන් සියලු දෙනාම මියගිය අතර, මෝටර් රථය තුළ තනිවූ කුඩා හින්ද් රජාබ් හදිසි සහන සේවකයින් දුරකථනයෙන් අමතමින් කළ සංවේදී ආයාචනය ජාත්යන්තරයේ දැඩි අවධානයට ලක් විය.
"මම ගොඩක් බයවෙලයි ඉන්නේ. කරුණාකරලා එන්න!"
කෙසේ වෙතත්, ඇය බේරා ගැනීමට පැමිණි වෛද්ය සහ සහන කණ්ඩායම මෙන්ම කුඩා හින්ද් රජාබ් ද අවසානයේ ඊශ්රායල හමුදා ප්රහාරවලින් ජීවිතක්ෂයට පත් වූහ. ඇය සිටි රථයේ වෙඩි සිදුරු 335ක් හමුවූ අතර, ඊශ්රායල බලධාරීන් මුලින් ප්රකාශ කළේ මෙය පලස්තීන සටන්කාමීන් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවක් නිසා සිදු වූවක් බවයි.
නමුත්, අපරාධ හා මානව හිමිකම් විමර්ශන පිළිබඳ ස්වාධීන පර්යේෂණ කණ්ඩායමක් වන Forensic Architecture ආයතනය මගින් සිදුකරන ලද ස්වාධීන විමර්ශනයකින් තහවුරු වූයේ එම ස්ථානයේ කිසිදු වෙඩි හුවමාරුවක් සිදු නොවූ බවත්, ප්රහාරය එල්ල වූ අවස්ථාවේ එහි සිටියේ ඊශ්රායල හමුදාව පමණක් බවත්ය. ඊශ්රායලය මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ප්රකාශ කළද, මෙවැනි නිල පරීක්ෂණ යනු චෝදනාවලින් මිදීමට සහ ඇතිවූ විරෝධය පහව යන තෙක් කාලය මැකීමට භාවිත කරන උපක්රමයක් ලෙස පලස්තීනුවන් විසින් හඳුන්වනු ලබයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් සහ මානව හිමිකම් සංවිධාන විසින් ගාසාව තුළ ඊශ්රායලය ගෙන යන හමුදා ප්රහාර ජනසංහාරයක් ලෙස හඳුන්වා දී ඇත. දැනට ලැබී ඇති දත්තවලට අනුව ගාසාවේ පලස්තීනුවන් 74,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඒ අතර 21,000කට වැඩි ළමුන් සංඛ්යාවක් සිටිති.
යුද අපරාධ චෝදනා මත ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමති යොආව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් වරෙන්තු නිකුත් කිරීමට දැරූ උත්සාහය ඇමෙරිකාව විසින් සෘජුවම හෙළා දකින ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් විමර්ශකයින් ගාසාවේ සිදුවීම් ජනසංහාරයක් ලෙස නිල වශයෙන් ප්රකාශ කර තිබියදීත්, සහ ඊශ්රායල හමුදා විසින් සිදුකරන ලදැයි චෝදනා නැගෙන යුද අපරාධ පිළිබඳ සාක්ෂි හමුවේ පවා, ඇමෙරිකාව දිගින් දිගටම ඊශ්රායලයට රාජ්යතාන්ත්රික, හමුදාමය සහ ආර්ථික සහාය ලබා දීම බරපතල භූ-දේශපාලනික පරස්පරතාවයක් සහ කඩවීමක් මතු කරයි.
මෙයින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ගෝලීය මානව හිමිකම් ප්රමිතීන් සහ සැබෑ භූ-දේශපාලනික බලපෑම් අතර පවතින දැවැන්ත දෙබිඩි පිළිවෙත සහ පරතරයයි.


