රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :
නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන්.
යාපනය දිස්ත්රික්කයේ කන්කසන්තුරේ තැපැල් කාර්යාලය සඳහා රුපියල් මිලියන 32.9ක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද (25) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.

වසර 36කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය වෙනුවෙන් නව ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉදිකිරීම් කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
දැනට පවත්වාගෙන යනු ලබන තැපැල් කාර්යාලයේ ඉඩකඩ ප්රමාණවත් නොවීමත්, සේවා කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්ය පහසුකම් සැලසීමත් මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ ප්රධාන අරමුණයි. නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් ප්රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා විධිමත් තැපැල් සේවාවක් සැපයීමට අවශ්ය පසුබිම සකස් වනු ඇත.

පළමු ශ්රේණියේ තැපැල් කාර්යාලයක් වන කන්කසන්තුරේ තැපැල් කාර්යාලය මගින් පවුල් 3,500කට අධික සංඛ්යාවකට මෙන්ම රාජ්ය ආයතන 16කට, හෝටල් 06කට සහ කර්මාන්ත ආයතන 03කට තැපැල් හා ඊට අදාළ අනෙකුත් සේවාවන් සපයනු ලබයි. ඒ අනුව, මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම ප්රදේශවාසීන්ගේ දෛනික අවශ්යතා සපුරාලීමටත්, රාජ්ය හා පෞද්ගලික ආයතනවල තැපැල් සේවා අවශ්යතා වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමටත් වැදගත් වනු ඇත.
නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා තැපැල් සේවාවේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව පැවසීය.
ඒ අනුව, 2025 වසරේ නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර තිබූ අතර, 2026 වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. මීට අමතරව, 2025 වසරේ තැපැල් හා පරිපාලන කාර්යාල ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර තිබූ අතර, ඒ යටතේ ගොඩනැගිලි 200කට ආසන්න සංඛ්යාවක අලුත්වැඩියා කටයුතු සිදු කර ඇති බව ද අමාත්යවරයා පැවසීය.
2025 වසරේ සිව්වන කාර්තුවේදී ආරම්භ කළ ද එම වසර තුළ අවසන් කිරීමට නොහැකි වූ අත්යවශ්ය ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට ද සැලසුම් කර තිබේ.

තැපැල් සේවාවේ ප්රවාහන අවශ්යතා ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 588ක වියදමින් ලොරි රථ 10ක් සහ කැබ් රථ 20ක් ලබාදීමට පියවර ගෙන ඇත. එසේම, මධ්යම තැපැල් හුවමාරුවේ ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 27ක වියදමින් CCTV කැමරා 209ක් සවි කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුවේ ආයතන වෙත ඩෙස්ක්ටොප් පරිගණක 225ක් සහ ටැබ් පරිගණක 1,500ක් බෙදාදීමට ද කටයුතු කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 175කි.
වර්තමාන ජනතා අවශ්යතාවන්ට ගැළපෙන පරිදි මෙරට තැපැල් සේවාව නවීකරණය කිරීම, එහි භෞතික යටිතල පහසුකම් සහ තාක්ෂණික ධාරිතාව සංවර්ධනය කිරීම මෙන්ම සේවා සැපයීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණ බව ද අමාත්යවරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේය.
ප්රදේශීය ජනතාවගේ අවශ්යතා සපුරාලමින් රාජ්ය සේවාවන් වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කිරීම සඳහා මෙවැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.


