රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :
හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ඔක්තෝබර් 26 වන දින සිට ක්රියාත්මක වන පරිදි පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම පියවර ගෙන ඇත්තේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමිනි.
මෙලෙස වැඩ තහනමට ලක්වූ නිලධාරීන් අතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සහ දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ එක් පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළත් වෙති.
පොලිසිය සඳහන් කළේ ‘අයිස්’ (මෙතම්ෆෙටමීන්) නැමැති මත්ද්රව්ය ළඟ තබාගෙන සිටි බවට සැකපිට කිරිවත්තුඩුව, මූණමලේ වත්ත ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම සැකකරුව ඔක්තෝබර් 25 වන දින පිටිපන හන්දියේදී හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
සැකකරු පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු රෝගී වී ඇති අතර, පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධියෙන් අනතුරුව පොලිසිය විසින් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත. ඒ අනුව වැඩබලන මහේස්ත්රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට සහ රෝහලට පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.
මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඔක්තෝබර් 27 වන දින කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී (කළුබෝවිල රෝහල) පැවැත්වීමට නියමිතය.
මේ අතර, හෝමාගම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ හෝමාගම දිසා සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මූලික විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
මෙම මරණය සිදුවීමට හේතු වූ කරුණු සහ වටපිටාව අනාවරණය කර ගැනීම සඳහා පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.


