මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන බවට දූෂමාන ආරංචියක් මේ දිනවල පැතිර යමින් ඇත. මෙම ප්‍රවෘත්තියට තටු ලබා දී තිබෙන්නේ පසුගිය දිනවල කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහ පවත්වමින් මහසෝන් සමයම නැටූ විපක්ෂයේ පිරිසය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණ අනුරාධපුර පූජා නගරය වැඳ පුදාගත් අවස්ථාවක පූජා නගරයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දායක වන බව දන්වා තිබුණි. ඒ අනුව පූජා නගරයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 7.7ක සහනාධාරයක් ඉන්දියානු රජය ලබා දීමට නියමිතය.

ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක අගමැති ධූරය දරන සමයේ 1956 දී එවකට ඉන්දීය අගමැති ශ්‍රී නේරු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණයේය.
පූජා නගරයේ ඓතිහාසික සමාධි ප්‍රතිමාව වන්දනා කිරීමෙන් අනතුරුව
ශ්‍රීනේරු සිය බස්තම පොළොවටඅනිමින් අගමැති බණ්ඩාරනායක සමග පවසා තිබුණේ පුරාණ අනුරාධපුර නගරයේ විවිධ අදියරයන්හි කරන ලද ඉදිකිරීම් පිහිටි පොළොවට තට්ටු
හතකට යටින් ද පැවතිය හැකි බවය.

“ඔබේ රටේ සිටින ලෝකප්‍රකට පුරාවිද්‍යාඥයින්ට පුරාණ නගරය මතුකර ගැනීම සඳහා කැනීම් සිදු කරන්නට පහසුකම් සලසන්නැයි” ශ්‍රීනේරු අගමැති බණ්ඩාරනායකගෙන් ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකාවේ උතුරු මැද ඓතිහාසික රාජධානි නිරිත දිග කලාපයට සංක්‍රමණය වීමෙන් පසු වල් බිහි වූ අනුරාධපුරය නැවත ලෝකයට විදාරනය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කරමින්
මහ වනයේ ත්‍රිකෝණමිථික ස්ථාන ලකුණු කරමින් ඉදිරියට ගමන් කරද්දි අව්කන බුද්ධ ප්‍රතිමාව හමුවූ අයුරු ආර්. එල් බ්‍රෝහියර් සඳහන් කර තිබේ.

“හිරු නොබසින අධිරාජ්‍යයේ පුරවැසියෙකු ලෙස තමා තුළ පැවති අභිමානය අව්කන බුද්ධ ප්‍රතිමාව ඉදිරියේ දියවී ගිය අතර තමා පිග්මි මිනිසකු තරම් කුඩා ලෙස දැනුනේ” යැයි
බ්‍රෝහියර් සිය දිනපොතෙහි සටහන් කර තිබිණ.

ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මූලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර මහා විහාරයට අයත් ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, ආදී පුරාණ ස්මාරක මතුකොට නීති මගින් ආරක්ෂා කරන ලද්දේ යටත් විජිත ආණ්ඩුවේ පාලන කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණි ඉංග්‍රීසි ජාතික පරිපාලන නිලධාරීන් විසිනි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන් තිබුණේ අනුරාධපුරයේය. අනුරාධපුරයට පැමිණ ස්මාරක කැණීම් සිදුකොට සංරක්ෂණ කටයුතු ආරම්භ කළේ එච්.සී.පී.බෙල් විසිනි. එවකට සෙනරත් පරණවිතානලා පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍යයෝය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක අදටත් ආරක්ෂා වී තිබෙන්නේ ඉංග්‍රීසින් සම්මත කළ 1940 අංක 9 දරණ පුරාවිද්‍යා ආඥා පණතෙනි. ඉතා විධිමත් අතිශය බලසම්පන්න පනතක් වන පුරාවිද්‍යා ආඥා පනත සියවස් දෙකකට ආසන්න කාලයක් අපේ පුරාණ ස්මාරක ආරක්ෂා කරදී තිබේ.

ඓතිහාසික පූජා නගරය ආරක්ෂා කිරීම සඳහා 1942 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත කළ අනුරාධපුර සංරක්ෂණ ආඥා පනත ද අතිශය වැදගත් එකකි. එම පනතට අනුව ඉංග්‍රීසි ආණ්ඩුව
නගර නිර්මාණ සැලැස්ම පිළියෙල කිරීමේ වගකීම පවරන ලද්දේ පළමුවන පන්තියේ නගර නිර්මාණ ශිල්පියකු වන ක්ලිපඩ් හොලිඩේටය. ප්‍රථම වරට අනුරාධපුර නගරය සහ පූජනීය පෙදෙස වෙන් කරන ලද්දේ ක්ලිපට් හොලිඩේගේ සැලැස්මෙනි.

1961 අංක 32 දරණ අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පණත මඟින් පූජාභූමිය ආරක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ස්ථාපිත කළේය. එවකට පැරණි පූජා භූමිය තුළ තිබූ වෙළඳසැල්, නිවාස සහ රාජ්‍ය ආයතන ඉවත් කර, පූජනීය පරිසරය සුරැකෙන පරිදි “අනුරාධපුර නව නගරය” සැලසුම් කර සංවර්ධනය කිරීම සංරක්ෂණ මණ්ඩලයේ මූලික කාර්ය භාරය විය.

1963 වසරේදී සංරක්ෂණ මණ්ඩලය අහෝසි කර, එහි වගකීම් සහ ඉඩම් කළමනාකරණ බලතල වෙනත් රාජ්‍ය ආයතන වලට සහ විශේෂ කොමසාරිස්වරයෙකුට පවරන ලදී.
1982 දී අනුරාධපුර පූජා නගරය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කළේය. අනුරාධපුර පූජා නගරය සමග කිසිවකුට සෙල්ලම් කර නොහැකිය. එහි සිදුවන සෑම දෙයක්ම යුනෙස්කෝවේ සංරක්ෂණ ප්‍රතිපත්තිවලටද අනුගතව සිදුවිය යුතුය.
ගොම්මන්පිලලා ඇතුළු ආණ්ඩු විරෝධී විපක්ෂ කණ්ඩායම් හදිසියේ නින්දෙන් අවදි වී රාම කෝවිලක් ගැන කතා කරන්නට පටන් ගත්තේ පසුගිය සතියේය.

ආධ්‍යාත්මික සංචාර යනුවෙන් සංකල්පයක් තිබේ. ඉන්දියානු බැතිමතුන් ලොව පුරා එවැනි ආධ්‍යාත්මික සංචාරයන්හි නිරත වෙති. නව ව්‍යාපෘතියක් ලෙස ඉන්දීය බැතිමතුන් ඉලක්ක කර රම්බොඩ වැවන්ටන් හනුමන්තා කෝවිල, යාපනයේ පේදුරු තුඩුවේ සක්කර්කාලවර් කෝවිල,
ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම්කෝවිල, නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල, සම්බන්ධ කෙරෙන සංචාරක වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කිරීමට පසුගිය පෙබරවාරියේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කර තිබුණි.

ඉන්දියාවේ හින්දු ආධ්‍යාත්මික නායකයකු ලෙස සැලකෙන මහා මණ්ඩලේෂ්වර් ස්වාමි කයිලාශානන්ද ගිරි ජී ලංකාවට පැමිණියේ ප්‍රචාරක වැඩපිළිවෙළේ සමාරම්භය සටහන් කරමිනි. එතුමාගේ ලංකා සංචාරය සිදුවී තිබෙන්නේ 2026 පෙබරවාරි 23 සිට් 27 දක්වාය. එතුමා ලංකාවෙන් පිටත්ව යාමට පෙර රුවන්වැලි සෑය වන්දනා කිරීමටද ගොස් තිබුණි. ඔක්තෝබර් 21 සිට පැරණි ඡායාරූප නැවත පළ කරමින් හින්දු පූජකවරයා අනුරාධපුරයට පැමිණේ රුවන්වැලි සෑය ආසල රාම කෝවිලක් ගොඩනැගීමට යැයි අභූත කතාවක් සමාජ ගත කළේය. ආණ්ඩු විරෝධී මත සම්පාදකයින්ට තිරපිටපත සකස් කර ගැනීමම සඳහා මෙම කරුණු හොඳටම ප්‍රමාණවත් විය.

නවීනත්වයට ගැලපෙන පූජා භූමියක් සඳහා අනුරාධපුර පූජා නගරයේ සංචාරකයින්ගේ සහ බැතිමතුන්ගේ ආකර්ෂණය දිනාගත හැකි විදුලි පහන්ජලනල පද්ධති , සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් වැසිකිළි, කැසිකිළි පද්ධති පිහිටුවීම අත්‍යවශ්‍ය වී තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ආදී ආයතන සහ අටමස්ථානයේ වැඩ බලන නායක හිමියන් ඒකාබද්ධව පූජා නගරයේ යටි තළ පහසුකම් සැකසීමේ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවිසින් උපදේශක කමිටුවක් පත් කර තිබේ.

පසුගිය දශක කිහිපයේ දේශපාලන හේතුන් මත පූජා නගරයේ ඇතුළු නුවර ප්‍රදේශයේ ජනයා පදිංචි කර ඇති අතර විවිධ වෙළඳ ව්‍යාපාරද ආරම්භ කර ඇත.
මහා විහාර සීමාව ඇතුළත අනුලා මාවතේ පසුගිය කාලයේ දේශපාලන හිතවතුන්ට පදිංචි වීමට ඉඩ සලසා තිබේ. පුරාවිද්‍යා රක්ෂිත භූමිය තුළ දෙමහල් ගොඩනැගිලි පවා ඉදිකර ඇත.
ඔවුන් පුරාවිද්‍යා භූමියෙන් ඉවත් කිරීම දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා වලට පමණක් සීමා වී ඇත. නව ගැසට් පත්‍රයට අනුව එම පිරිස් ඉදිරියේදී ලෝලු වැව ප්‍රදේශයේ පදිංචි කරවනු ඇත.

රාම කෝවිලක් නොව කිසිම කිසිදු ආගමික ස්ථානයක් අනුරාධපුර පූජා භූමියේ අලුතින් ඉදිකිරීමට මින් ඉදිරියටඅවසර නොදෙනු ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝ කරමින් විවිධාකාර ගොඩනැගිලි ඉදිකර තිබේ. සඳහිරු සෑය ඉන්න එකකි. ඒ මදිවාට පූජනීය භූමි පුරා විවිධාකාර සන්නිවේදන කුළුණු සවිකර තිබේ.

නව ඉදිකිරීම් තුළින් ඓතිහාසික උරුමය මුළුමනින්ම විනාශවේ. පුරාවිද්‍යා ස්මාරකයකට එල්ල කරන මිටි පහරක්, මිටි පහරක්, පාසා අතීතයේ ඒවා නිර්මාණය කළ රජවරුන්ගේ සහ ශිල්පීන්ගේ හදවත සිදුරු වී රුධිරය වැගිරෙන්නේ යැයි ආචාර්ය ආනන්ද කුමාරස්වාමි පවසා ඇත.

උදේනි සමන් කුමාරගේ ෆේස්බුක් පිටුවෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...