රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:
ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල රැස්වීම අද (01) කොළඹ, ‘සිනමන් ලයිෆ්, සිටි ඔෆ් ඩ්රීම්ස්’ (Cinnamon Life, City of Dreams) හිදී පැවැත්වේ.
මෙම මහා මණ්ඩල රැස්වීම සංචාරක අමාත්යාංශය, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය ප්රමුඛව සංවිධානය කරනු ලබයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ පැමිණීමෙන් අනතුරුව, ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල රැස්වීම ආරම්භ වීමට නියමිතය.
MICE සංචාරක ක්ෂේත්රය – එනම් රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්රණ සහ ප්රදර්ශන (Meetings, Incentives, Conferences and Exhibitions) සඳහා ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ප්රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සමුළුව මෙරට පවත්වනු ලබයි.
ආසියා-පැසිෆික් විකාශන සංගමයට අනුබද්ධ මාධ්ය ආයතන 225ක් නියෝජනය කරමින්, එහි සාමාජික රටවල් 66ක නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වෙති.
63 වැනි ABU මහා මණ්ඩල රැස්වීමේ කොටසක් ලෙස, තාක්ෂණික කමිටු සහ වැඩසටහන් කමිටු රැස්වීම් පසුගිය දින දෙක තුළ පැවැත්විණි.



