රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Truth Social සමාජ මාධ්‍ය සටහනක් තබමින් Ultimate Fighting Championship (UFC) ප්‍රධානී ඩේනා වයිට් හට (Dana White) ශ්වේත භවනේ (White House) මාධ්‍ය ලේකම් ධුරය භාර ගන්නා ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කර ඇත.
ඊයේ(07) පස්වරුවේ තැබූ සටහනකින් ජනාධිපති ට්‍රම්ප්, වයිට් මහතාව “දරුණු සටන්කාමියෙකු සහ යෝධයෙකු (Warrior)” ලෙස හඳුන්වා දී ඇති අතර, එම ධුරයේ කටයුතු සඳහා ඔහුට සහාය වීම පිණිස ප්රමුඛ පෙළේ UFC සටන්කාමීන් කිහිප දෙනෙකු ද කැඳවාගෙන එන ලෙස ඉල්ලා සිටියේය.
“දරුණු සටන්කාමියෙකු සහ යෝධයෙකු වන ශ්‍රේෂ්ඨ ඩේනා වයිට් හට එක්සත් ජනපදයේ මාධ්‍ය ලේකම් ධුරය පිරිනැමූ බව ප්‍රකාශ කිරීමට මම සතුටු වෙමි,” ට්‍රම්ප් සටහන් කර තිබුණි.
"ඔවුන්ගෙන් ඇතැමෙකු අපගේ රටේ අය නොවූවත්, ඉස්ලාම් මකාචෙව් (Islam Makhachev), කබීබ් නුර්මාගොමෙඩොව් (Khabib Nurmagomedov), ජස්ටින් ගේච් (Justin Gaethje), ඩැනියෙල් කොර්මියර් (Daniel Cormier), අමන්දා නූනෙස් (Amanda Nunes) සහ කේලා හැරිස් (Kayla Harris) යන අය සහයකයින් ලෙස ඔහු සමඟ කැඳවාගෙන එන ලෙස මම ඉල්ලා සිටියෙමි. 'උමතු වම්පක්ෂයෙන්' (Lunatic Left) අපව ආරක්ෂා කර ගැනීමට අපට මෙවැනි පුද්ගලයින් අවශ්‍ය වේ. ඩේනා යනු වෙනත් කිසිවෙකුට සම කළ නොහැකි මාධ්‍ය ලේකම්වරයෙකු වනු ඇත. ඩේනා, කරුණාකර මෙම රැකියාව භාර ගන්න! – ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්”
මෙම ප්‍රසිද්ධ ආරාධනය සැබෑ එකක්ද යන්න තවමත් පැහැදිලි නැති වුවද, වයිට් පසුව එම සටහන ගැන අදහස් දක්වමින්, "මම ඔහුව හමුවීමට යනවා, සඳුදා අපට සාකච්ඡාවක් තියෙනවා" යනුවෙන් පැවසීය.
ශ්වේත භවනේ මාධ්‍ය ලේකම් ධුරය දැරූ කේටි සකාරියා (Katie Zacharia) එම ධුරයට පත්ව දින පහක් යන්නටත් මත්තෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, ඔක්තෝබර් මැද භාගයේ සිට එම ධුරය පුරප්පාඩුව පවතී. ට්‍රම්ප්ගේ මෙම සමාජ මාධ්‍ය ආරාධනය පැමිණෙන්නේ එක්සත් ජනපද අතුරු මැතිවරණයෙන් (midterm elections) රිපබ්ලිකන් පක්ෂයට කොංග්රස් මණ්ඩලයේ පැවැති බහුතර බලය අහිමි වීමෙන් කෙටි කලකට පසුවය.
වයිට් මෙම ආරාධනය පිළිගතහොත්, ශ්වේත භවනේ මාධ්‍ය කාර්යාලයේ සේවය කරන එකම හිටපු UFC කාර්ය මණ්ඩල සාමාජිකයා ඔහු නොවනු ඇත. වත්මන් ශ්වේත භවන් සන්නිවේදන අධ්යක්ෂ ස්ටීවන් චියුන්ග් (Steven Cheung) මීට පෙර 2013 සිට 2016 දක්වා වයිට්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සේවය කර ඇත.
මෑත වසරවලදී ට්‍රම්ප් මෙම මිශ්‍ර සටන් කලා සංවිධානය (UFC) සමඟ සමීප සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර UFC තරඟ කිහිපයකටම සහභාගී වී තිබේ. ඉකුත් ජූනි මාසයේදී එක්සත් ජනපද නිදහසේ 250 වැනි සංවත්සරය සැමරීමේ කොටසක් ලෙස ශ්වේත භවන තුළ UFC සටන් රැයක් ද පවත්වන ලදී.


