කොළඹ LNW:ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 28 සහ 29 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කටයුතු සංවිධානය කර ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
මහාබෝධි මහාබෝධි මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 74 වන වරට බවත්,මෙවර රටවල් රැසකින් බෞද්ධ බැතිමතුන් සහභාගී වන බවට වාර්තා වී ඇතැයි ද බානගල නා හිමියෝ පැවසූහ. සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා පසුගියදා තායිලන්තයට වැඩම කිරීමෙන් පසු, එම ධාතූන් වහන්සේලා නැවත වැදපුදා ගැනීමට තායිලන්තයේ විශාල බෞද්ධ දූත පිරිසක් මෙවර සාංචියට පැමිණෙන බව ද බානගල නා හිමියෝ පවසති.

ශ්‍රී ලංකාව,මියන්මාරය, සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවලින් ද මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයට බැතිමතුන් පැමිණෙන බවට වාර්තා කර ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සාංචිය පිහිටි රයිසන් දිස්ත්‍රික්කයේ කලෙක්ටර් (මහා දිසාපති) ශ්‍රී රෝහිත් සිස්සෝනියා (Shrl Rohit Sissoniya) මහතාගේ ප්‍රධානත්වයෙන් බෝපාල් හි දී පැවැත්වුණි. එම සාකච්ඡාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ ද විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ ද මධ්‍ය ප්‍රදේශ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එන්.පී.නාම්දේව් (N.P.Namdev) මහතා මහතා ඇතුළුව රයිසන් දිස්ත්‍රික්කයේ පොලිස්,ආරක්ෂක හමුදා,සෞඛ්‍ය, වෛද්‍ය,නගර සභා,ප්‍රවාහන අංශ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශය ආයතන රැසක නිලධාරී හා නියෝජිතයෝ සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක් වූ කලෙක්ටර් ශ්‍රී රෝහිත් සිස්සෝනියා (Shrl Rohit Sissoniya) මහතා කියා සිටියේ,සාංචියට පැමිණෙන දේශීය හා විදේශීය බැතිමතුන්ගේ පහසුව සඳහා සාංචි ප්‍රදේශයේ රෝහල,රථගාල්, පොලිස් මුරපොළ,හෝටල්, නවාතැන් ස්ථාන, ඇතුළු සාංචි අවට ප්‍රධාන ස්ථාන දැක්වෙන පුළුල් සිතියමක් ස්කෑන් මඟින් හඳුනා ගැනීමට මෙවර ප්‍රථම වරට ස්ථාපනය කරන බවය.
මෙවර සාංචි මහාබෝධි මහෝත්සව ප්‍රසංගයට ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් කලාකරුවෝ සිය නිර්මාණ ඉදිරිපත් කරන බවත්,ශ්‍රී ලංකාවෙන් කරුණාදාස ඔලබොඩුව සම්ප්‍රදායික රංග ශාස්ත්රාලයේ නර්තන හා වාදන ශිල්පීන් ද එම ප්‍රසංගයට සහ ධාතු ප්‍රදර්ශන අවස්ථාවන්ට සිය නර්තන හා භේරි වාදන සහභාගිත්ව දායකත්වය ලබාදෙන බව බානගල විමලතිස්ස හිමියෝ මෙහි දී පැවසූහ.මෙම සාකච්ඡාවෙන් පසු කලෙක්ටර් ශ්‍රී රෝහිත් සිස්සෝනියා (Shrl Rohit Sissoniya) මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීහු සාංචි පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.



