රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:
ඩිජිටල් මුදල් (ක්‍රිප්ටෝ) ආශ්‍රිත අපරාධ මැඩලීමේ උත්සාහයක ශ්‍රී ලංකාව නිරත වමින් සිටින අතර, ඩිජිටල් මූල්‍ය අපරාධ, මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී ක්‍රිප්ටෝ ගනුදෙනු ලුහුබැඳීමේ රටේ හැකියාව ශක්තිමත් කර ගැනීම සඳහා රජයේ නිලධාරීන් ගෝලීය (Blockchain) බුද්ධි අංශ සමාගමක් වන Chainalysis සමඟ සාකච්ඡා පවත්වා ඇත.
ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතන, නියාමකයින් සහ මූල්‍ය විමර්ශකයින් සමඟ කටයුතු කරන ප්‍රමුඛතමBlockchain විශ්ලේෂණ සමාගමක් වන Chainalysis හි නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡා ඊයේ (17) දිනයේදී පැවැත්විණි.
මතුවන ඩිජිටල් තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර,ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ක්‍රිප්ටෝ ආශ්‍රිත වංචා, මුදල් විශුද්ධිකරණ ක්‍රියාකාරකම් සහ අපරාධ අරමුණු සඳහා ඩිජිටල් වත්කම් අවභාවිතය හඳුනාගැනීමේදී මෙම සමාගමේ විශේෂඥ දැනුමෙන් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගත වූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසීය.
අතථ්‍ය වත්කම් සහ ඩිජිටල් වත්කම් ගනුදෙනු පාලනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ නියාමන රාමුව සකස් කිරීමේ කටයුතුවල ශ්‍රී ලංකාව දැනටමත් නිරතව සිටී. එම අංශය සඳහා ප්‍රතිපත්ති, නීති සහ අධීක්ෂණ යාන්ත්‍රණ සැකසීමේ කටයුතුවලදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඒකාබද්ධව නිරත වී සිටින අතර, එම ප්‍රයත්නයන්ට සහය දැක්වීමට Chainalysis සමාගම කැමැත්ත පළ කර ඇතැයි රත්නායක මහතා ප්‍රකාශ කළේය.
සැකකටයුතු මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ විමර්ශන ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය (FIU), සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට උසස් විශ්ලේෂණ සහ දත්ත බුද්ධිය උපකාරී වන්නේ කෙසේද යන්න ද මෙම සාකච්ඡාවලදී සාකච්ඡා කෙරිණි.
වඩාත් සංකීර්ණ වෙමින් පවතින මූල්‍ය වටපිටාවක් තුළ ඩිජිටල් අපරාධ හඳුනා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ විමර්ශනය කිරීමට අවශ්‍ය කුසලතාවලින් ශ්‍රී ලංකා නිලධාරීන් සන්නද්ධ කිරීම සඳහා විශේෂිත පුහුණුවක් ලබා දීමට එකඟ වීම මෙම හමුවේ තවත් ප්‍රතිඵලයකි.


