රාජ්‍ය ආයතන එකාබද්ධ කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:

වත්මන් රජයේ ප්‍රථම රාජ්‍ය ආයතන එකාබද්ධ කිරීමේ (Amalgamation) ක්‍රියාවලිය යටතේ, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට යටතට පත් කෙරේ.

රටේ රාජ්‍ය ආයතන ජාලය වඩාත් කාර්යක්ෂම කිරීම, රාජ්‍ය සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සහ එකම ක්ෂේත්‍රයක් ආවරණය වන ආයතන අතර පවතින කාර්යභාරයන්හි අතිච්ඡාදනය (overlap) මඟහරවා ගැනීමේ අරමුණින්, වර්තමාන රජය යටතේ සිදුකෙරෙන ප්‍රථම රාජ්‍ය ව්‍යාපාර සහ ආයතන එකාබද්ධ කිරීමේ (Amalgamation) ඓතිහාසික පියවර නිල වශයෙන් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ බලතල සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව 2026 නොවැම්බර් මස 05 දිනැති අංක 2513/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් වැදගත් ප්‍රතිපාදන ක්‍රියාත්මක වේ:

  • ආයතනය විසුරුවා හැරීම සහ ඒකාබද්ධ කිරීම: 1995 ජූලි මස 28 දින අංක 882 දරන ගැසට් පත්‍රය මඟින් පිහිටුවන ලද ‘මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය’ මෙයින් විසුරුවා හරිනු ලබන අතර, එහි සතු සියලු චංචල හා නිශ්චල දේපළ, අයිතිවාසිකම්, බැරකම් සහ බැඳියාවන් 1993 අංක 50 දරන පනත යටතේ ඇති ‘ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය’ වෙත පවරා සතු කරනු ලැබේ.
  • සේවක අයිතිවාසිකම් පූර්ණ ආරක්ෂාව: විසුරුවා හරින ලද ආයතනයේ සේවය කරන සියලුම නිලධරයන් සහ සේවකයන්ගේ සේවා, නිවාඩු සහ විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධ අයිතිවාසිකම් කිසිදු අයුරකින් අවාසිදායක නොවන අයුරින් සුරක්ෂිත කරමින්, නව අධිකාරියේ සේවකයන් ලෙස අඛණ්ඩව සේවය කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසා දී ඇත.
  • අඛණ්ඩ අධ්‍යාපන සහ ව්‍යාපෘති කටයුතු: එම ආයතනය මඟින් දැනට පවත්වනු ලබන පාඨමාලා, පුහුණු වැඩසටහන්, විභාග, සහතික කිරීම්, පර්යේෂණ ව්‍යාපෘති සහ ලියාපදිංචි වී සිටින සිසුන්ගේ සියලු අයිතිවාසිකම් කිසිදු බාධාවකින් තොරව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
  • ගිවිසුම් හා නඩු කටයුතු අඛණ්ඩතාව: පූර්වයේ පැවති සියලු කොන්ත්‍රාත්තු, ගිවිසුම් සහ විභාග වෙමින් පවත්නා නඩු කටයුතු කිසිදු බාධාවකින් තොරව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය හරහා ඉදිරියට පවත්වාගෙන යාමට සහ බලාත්මක කිරීමට මෙමඟින් බලය ලැබේ.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ නියාමනය, පර්යේෂණ හා පුහුණු කටයුතු තනි ආයතන ව්‍යුහයක් යටතට ගෙන ඒම මඟින් මෙරට මැණික් අපනයන ප්‍රවර්ධන හා කර්මාන්ත සංවර්ධන කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරට රාජතාන්ත්‍රික ඇරයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී...

නාමල්ට ලැබුණු ඇපය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන...

අභියාචනය ප්‍රතික්ෂේපයි – ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවමත් බලාත්මක වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීති විරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ...