එදා මාක්ස් ලෙනින්වාදය ගැන කතා කරමින් දැඩි වාමාංශිකයින් වශයෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට අන්ත දක්ෂිණාංශික පක්ෂවලටත් වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සරණ ගොස් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
“තමුන්නාන්සෙලා ඒ කාලෙ මැතිවරණ වේදිකාවේදී කිව්වා ‘අපි ආණ්ඩුවක් හදනවා. අපේ ආණ්ඩුවක අයවැය කතාව ඉදිරිපත් කරන දාට රතිඤ්ඤා වැලක් ගෙනල්ලා ඒක වැල පිටින් පත්තු කරන්නෙ නැතිව නූල ගලවලා වෙනම තියාගෙන ඉන්න, අපි අයවැයෙන් දිගටම සහන දෙනකොට සහනයෙන් සහනයට එක එක රතිඤ්ඤෙ පත්තු කරන්න පුළුවන්’ කියලා. ගාල්ලෙ රැස්වීමකදී කිව්වෙ. එදා තමුන්නාන්සෙලාගේ ඒ කතාවලට රැවටුණු මිනිස්සු හාල්මැස්සන්ට, උම්බලකඩවලට, මිරිස්වලට සහනය එනකොට රතිඤ්ඤා කරල පත්තු කරලා විසිකරා. දැන් ඒ මිනිස්සු කියනවා ඉතුරු රතිඤ්ඤා ටික තමුන්නාන්සෙලාගෙ ආණ්ඩුව ගෙදර යන දවසට පත්තු කරන්න තමයි සිද්ධ වෙන්නෙ කියලා.
ලෝකයේ ප්‍රකට කතාවක් තියෙනවා ‘ඉතිහාසය සමරන්න අයිතියක් තියෙන්නේ ඉතිහාසයට අවංක මිනිස්සුන්ට විතරයි’ කියලා. මේ අයවැය කතාව පැය පහක් පුරා අහගෙන ඉද්දී අද මේ රජය අනුගමනය කරන ප්‍රතිපත්ති දිහා බලනකොට ජේවීපී එක තමන්ගෙ ඉතිහාසයට මොන තරම් වංකවෙලාද කියන එක අපට පේන්න තියෙනවා. මේ රටේ අන්ත දක්ෂිණාංශිකයි කියපු දේශපාලන පක්ෂවලටත් වඩා අයිඑම්එෆ් සරණ යන ගමන් ඒක කෙළින් කියාගන්න බැරුව, ඇමති අනුකමිටු දාලා හැංගි හැංගි වෙස් බඳිනකොට ඕනෙම කුඩා දරුවෙකුට වුණත් දැන් තේරෙනවා තවදුරටත් අයි. එම්. එෆ්. එකත් එක්ක තමයි මේ තොවිලය නටන්න හදන්නෙ කියන එක. අපිට තියෙන පුදුමය තවදුරත් අයි. එම්. එෆ් එකත් එක්ක යන එක නෙවෙයි. එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයි. එම්. එෆ්. එකත් එක්ක යනකොට ඒක පතුරු ගහපු තමුන්නාන්සෙලාට ඒ වැල් පාලමේම යන්න වෙච්ච එකයි අපට තියෙන පුදුමය. ඇත්ත වශයෙන්ම තමුන්නාන්සෙලාගෙ රජයේ තුන්වැනි අයවැය ඉදිරිපත් කරන මේ මොහොත වෙනකොට අපට කියන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති දිහා බලනකොට, යන මාර්ගය දිහා බලනකොට ‘හක්කේ ලෙනින් – බොක්කේ රනිල්’ ප්‍රතිපත්තියක තමයි ආණ්ඩුවෙ ඉන්නෙ කියලායි. අවුරුදු දෙක් යනකොට තමුන්නාන්සෙලාටම වෙච්ච දේ දිහා බලන්න”
ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


