සටහන – පුලී
නොවැම්බර් 18, LNW (කොළඹ): දේශගුණික විපර්යාස සහ පරිසර විනාශය හමුවේ ලෝකයට නව බලාපොරොත්තුවක් එක්කරමින් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දියාවේ මුම්බායි නුවර පැවති Earthshot Prize සම්මාන උළෙලට සහභාගී වී තිබේ. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කරන පුද්ගලයන්, සංවිධාන සහ විද්‍යාඥයන් ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන මෙම උළෙලේදී පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව රාජකීය යුවළ විශේෂ පණිවිඩයක් ලොවට ලබාදී ඇත.
මෙහිදී විශේෂත්වයක් වූයේ කේට් කුමරිය දීර්ඝ කාලයකට පසුව මෙවැනි සම්මාන උළෙලකදී ප්‍රසිද්ධියේ දේශනයක් පැවැත්වීමයි. පෘථිවිය මුහුණ දෙන පාරිසරික අර්බුද පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ වසර මිලියන ගණනක් පුරා ජීවීන්ට වාසස්ථාන සැපයූ පරිසර පද්ධති විනාශ වීමත් සමඟ සත්ත්ව හා ශාක විශේෂ රැසක් අප ඉදිරියේදීම අහිමි වෙමින් පවතින බවයි. එමෙන්ම ලෝකයේ ස්වභාවික භූ දර්ශන පෙර නොවූ විරූ වේගයකින් වෙනස් වෙමින් පවතින බවද ඇය අවධාරණය කර තිබේ.


කෙසේ වෙතත්, මෙම අභියෝග හමුවේ බලාපොරොත්තු අත්හැරිය යුතු නැති බව පෙන්වා දුන් කේට් කුමරිය, පරිසරය වෙනස්කම්වලට අනුවර්තනය වී යළිත් වර්ධනය වීමට මාර්ග සොයාගන්නා ආකාරයෙන්ම නව අදහස් සහ නවෝත්පාදනවලට අවස්ථාව ලබාදීමෙන් මිනිසුන්ට ද යහපත් අනාගතයක් නිර්මාණය කළ හැකි බව සඳහන් කර ඇත. මෙවර සම්මාන ලබන පුද්ගලයන්ගේ සහ සංවිධානවල කාර්යභාරය අනාගත පරම්පරාවන්ගේ ජීවිතවලට විශාල වෙනසක් ඇති කරන බවද ඇය පවසා තිබේ.
මේ අතර, උළෙලේ ප්‍රධාන දේශනය සිදුකළ විලියම් කුමරු සඳහන් කර ඇත්තේ වර්තමාන දශකය පරිසරය වෙනුවෙන් සිදුකරන ධනාත්මක වෙනස්කම් ආපසු හැරවිය නොහැකි මට්ටමකට ගෙන යා යුතු කාලයක් බවයි. ලෝක ඉතිහාසය තීරණය වන්නේ අභියෝගවලින් පමණක් නොව, ඒවාට මුහුණදීමට ඉදිරිපත් වන පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් මගින් බවද ඔහු අවධාරණය කර තිබේ. ලොව පුරා මිනිස් නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන හැකියාව පුදුමාකාර මට්ටමකින් ඉදිරියට පැමිණෙමින් පවතින බවද විලියම් කුමරු පෙන්වා දී ඇත.
මෙවර සම්මානලාභීන් අතර ඉන්දියාවේ Mahindra Last Mile Mobility සමාගම විශේෂ අවධානයක් දිනාගෙන තිබේ. ඉන්දියාවේ නගර මුහුණ දෙන දැඩි වායු දූෂණයට විසඳුමක් ලෙස විදුලි ත්‍රිරෝද රථ හඳුන්වාදීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එම සමාගමට පවුම් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිව ඇත. විශේෂත්වය වන්නේ මීට පෙර විලියම් කුමරු විසින් එවැනි විදුලි ත්‍රිරෝද රථයක් පදවාගෙන ගිය අතර, කේට් කුමරිය එහි මගියකු ලෙස ගමන් කිරීමයි.
භූතානය ද මෙවර සම්මාන උළෙලේදී පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඇගයීමට ලක්ව තිබේ. ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම ඇතුළත් කර ඇති භූතානය, රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක වනාන්තර ආවරණය පවත්වාගෙන යාමට සමත්ව තිබේ. එම වනාන්තර හිමාලයානු ජල පද්ධති ආරක්ෂා කිරීමට ද විශාල දායකත්වයක් සපයන අතර, එම ජල සම්පත් ලෝක ජනගහනයෙන් හයෙන් එකකට පමණ වැදගත් වේ. ඒ වෙනුවෙන් භූතානයට ‘Protect and Restore Nature’ සම්මානය පිරිනැමීමට කේට් කුමරිය කටයුතු කර ඇත.
මෙම උත්සවය රාජකීය යුවළගේ පෙනුම සහ විලාසිතා හේතුවෙන් ද විශේෂ අවධානයක් දිනාගෙන තිබේ. කේට් කුමරිය ඉන්දියානු සංස්කෘතියේ අලංකාරය විදහාපාන Mahima Mahajan විසින් නිර්මාණය කළ Anarkali ඇඳුමකින් සැරසී සිටියාය. අතින් වියන ලද සේද රෙදිවලින් නිර්මාණය කර තිබූ එම ඇඳුම සාම්ප්‍රදායික Banarasi රන් පැහැති මෝස්තරවලින් අලංකාර කර තිබූ අතර, එහි තද රතු පැහැය ලබාගෙන තිබුණේ ශාකමය වර්ණක භාවිතයෙනි. විලියම් කුමරු ද ඉන්දියාවේ නිර්මාණකරුවකු වන Manish Malhotra විසින් නිර්මාණය කළ විශේෂ Bandhgala ඇඳුමකින් සැරසී සිටියේය.
ඔස්කාර් සම්මානලාභී නළු Rami Malek සහ ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන Sachin Tendulkar ද සම්මාන ප්‍රදානය කිරීම සඳහා එක්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Take That හි Gary Barlow, Howard Donald සහ Mark Owen විසින් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීය. පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම උත්සවය සංගීතය, විලාසිතා සහ පරිසර සංරක්ෂණය එකට එක් කළ දැවැන්ත අවස්ථාවක් බවට පත්විය.
open image in galleryThe Prince and Princess of Wales talk with guests during the Earthshot Prize Awards Ceremony (PA)

2020 වසරේ විලියම් කුමරු විසින් ආරම්භ කරන ලද Earthshot Prize සම්මාන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට ලෝකයේ බරපතළම පාරිසරික ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් සොයාගැනීමට දායක වන පුද්ගලයන් සහ සංවිධාන දිරිමත් කිරීමයි. පිරිසිදු වාතය, සාගර ආරක්ෂාව, ස්වභාවික පරිසරය සංරක්ෂණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම එහි ප්‍රධාන අරමුණු අතර වේ.
ලෝකය පුරා පරිසර විනාශය පිළිබඳ කනස්සල්ල වැඩිවෙමින් පවතින මොහොතක, නව අදහස් සහ නිර්මාණශීලී විසඳුම් තුළින් අනාගතය වෙනස් කළ හැකි බව විලියම් සහ කේට් රාජකීය යුවළ මෙහිදී යළිත් අවධාරණය කර තිබේ. ඔවුන්ගේ පණිවිඩය පැහැදිලිය. පරිසරය රැකගැනීම අද දවසේ තෝරාගැනීමක් නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමකි.

